සැමියාගෙන් බේරී පලායෑමට තැත් කළ බිරිඳ තුන්වන මහලෙන් ඇද වැටී රෝහලට
අනියම් බිරියක් නිවසට රැගෙන විත් ඇය හා ජීවත්වෙමින් බලහත්කාරයෙන් විවාහක බිරියද නිවසේ රඳවාගෙන සිටි සැමියාගේ වද බන්ධන වලින් බේරී නිවසින් පලා යෑමට උත්සාහ කළ 29 හැවිරිදි තරුණ කාන්තාවක් නිවසේ තුන්වන මහලින් වැටී තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.
රෝහල් ගතකර ඇති කාන්තාවගේ සැමියා ඇයව හැර දමා අනියම් බිරිඳ සමග එම තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළම මහලේ මාස තුනක පමණ සිට පදිංචිව සිට ඇත.
එම පුද්ගලයාගේ නීත්‍යානුකූල බිරිය වු අනතුරට පත් කාන්තාව හෝමාගම ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක රාජකාරි කරමින් සිට ඇති අතර ඇයව දින දෙකකට පෙර තවත් පුද්ගලයෙකු සමග මෝටර් රථයකින් බලහත්කාරයෙන් රැගෙන විත් නිවසේ රදවාගෙන සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි.
රෝහල් ගතකර ඇති කාන්තාව පෙරේදා රාත්‍රි රෙදි පටිවලින් සැකසූ ලනුවක් ආධාරයෙන් ඇයව රඳවා සිටි ඉහල මහලේ කාමරයක ජනේලයකින් පහලට බැස පලා යන්නට උත්සාහ කිරීමේදී ඇද වැටී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙළිව ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූ කාන්තාව කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින් පරීක්ෂණ සිදු සිදුකරයි .
පොලිසිය සැකකාර සැමියා සහ ඔහුගේ අනියම් බිරිය , තුවාල ලබූ කාන්තාව මෝටර් රථයක නංවාගෙන පැමිණි අනෙක් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතරසිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක ගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති .