කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයෙන් කෝටි 24 ක කුඩ පන්නලා

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයෙන් කෝටි 24 ක කුඩ පන්නලා

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වී ඇති බව හෙළි වී තිබේ.

මහාධිකරණ නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු මෙම හෙරොයින් තොගය රජයේ රස පරීක්‍ෂවරයාට ඉදිරිපත් කිරීමට බව පවසා රහස් පොලිස් නිලධාරියකු වශයෙන් පෙනී සිටි පුද්ගලයකු විසින් රැගෙන ගොස් ඇති බව හෙළි වීම නිසා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියේ අධක්‍ෂවරයාට නියම කළේය.

රහස් පොලිසියෙන් යැයි පවසමින් අදළ හෙරොයින් තොගය රැගෙන ගිය බව කියන ‘තරිඳු යෝෂිත’ නමැත්තා කවුද? යන්න හෙළි කර ගැනීම සඳහා වහාම විමර්ශනයක් කිරීමටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිස් අධක්‍ෂවරයාට නියම කළේය.

කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන හෙරොයින් නඩුවක නඩු භාන්ඩ වශයෙන් ලකුණු කර ඇති මෙම හෙරොයින් කිලෝ 12 මහාධිකරණයට යැවීම සඳහා සොයන විට රහස් පොලිසියේ ‘තරිඳු යෝෂිත’ නමැති නිලධාරියා වශයෙන් පෙනී සිටි පුද්ගලයකු රජයේ රස පරීක්‍ෂවරයාට ඉදිරිපත් කිරීමට බව පවසමින් අදාළ හෙරොයින් තොගය ගෙන ගොස් ඇති බව හෙළි වීමෙන් අනතුරුව මේ පිළිබඳ විමර්ශන කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියේ අධක්‍ෂවරයාට වැඩිදුරටත් නියම කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාන්ඩ භාරකරු ඇතුළු නඩු භාන්ඩ කාමරයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ වින විට විමසීම් කර ඇතැයිද වාර්තාවේ.