ග්‍රාම නිලධාරි වර්ජනය තාවකාලිකව අවසන්

ග්‍රාම නිලධාරි වර්ජනය තාවකාලිකව අවසන්

අකුරට වැඩ කිරීමේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතා සතිය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ඒ අනුව, මැතිවරණය නිමාවට පත්වනතුරු සාමාන්‍ය පරිදි ග්‍රාම නිලධාරී සේවාවන් ලබාදීමට කටයුතු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමීති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා අද (18) දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වන විට ග්‍රාම නිලධාරීන් මැතිවරණ නිලධාරීන් බවට පත්ව ඇති බැවින් ස්වාධීන අපක්ෂපාතී සාම නිලධාරීන් ලෙස මැතිවරණ නීතියට අනුගත වෙමින් මහජන සේවාවන් උපරිම ආකාරයෙන් ඉටු කිරීම සඳහා මෙලෙස වෘත්තීය ක්‍රියා මාර්ගවලින් ඉවත් වන බවත් ඒ මහතා පැවසීය.

ඉදිරියේදී පත්වන නව ජනාධිපතිවරයා සමඟ තම වෘත්තීය ගැටලු පිළිබඳව යලි සාකච්ඡා ආරම්භ කර පවතින ගැටලු සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් එලෙස සාකච්ඡා මගින් ගැටලු විසදා ගැනීමට නොහැකි වුවහොත් යලිත් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවන් සහ ග්‍රාම නිලධාරි දිමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස සකස්කර දෙන ලෙස ඉල්ලමින් දිවයින පුරා ග්‍රාම නිලධාරිවරු මැයි 04 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර කළහ.