රාජ්‍ය සේවයේ ලක්ෂ පහකට අධික පිරිසක් අද ලෙඩ වෙති

රාජ්‍ය සේවයේ ලක්ෂ පහකට අධික පිරිසක් අද ලෙඩ වෙති

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ පිරිස් හා රාජ්‍ය පළාත්රාජ්‍යසේවා වෘත්තීය සමිති එකමුතුවේ පිරිස් හා රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ පිරිස් අද (08) සහ හෙට (09) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරනු ලබයි.

විධායක සේවාවල නිලධාරීන්ට රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන නිසා ප්‍රාථමික හා ද්විතීයික සේවාවල නිරත රාජ්‍ය සේවකයන්ට ද රුපියල් විසිපන්දහසක මාසික දීමනාවක් ලබා ගැනීමට අද සහ හෙට සේවයෙන් ඉවත්වන බව වෘත්තීය සමිති සඳහන් කරයි.

මෙම ක්‍රියාමාර්ගයට රාජ්‍ය සේවයේ ලක්ෂ පහකට අධික පිරිසක් සම්බන්ධ වන බවත් මීට සමගාමීව අද සහ හෙට විරෝධතා 26ක් පැවැත්වීමටත් කටයුතු කරන බව රාජ්‍ය, පළාත්රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සාමාජික සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

මේ අනුව, වැඩවර්ජනයේ නිරත ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල සේවය කරන රාජ්‍ය නිලධාරීන් අද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් හෙට සියලුම දිස්ත්‍රික් ලේකම්කාර්යාල ඉදිරිපිට විරෝධතා ව්‍යාපර පවත්වන බවද පැවසීය.

රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රුපියල් විසිහතරදහසක් බවත් පවතින ආර්ථික අර්බුදය නිසා ප්‍රාථමික හා ද්විතීයික සේවාවල සේවය කරන සේවකයන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

පවතින ආර්ථික දුෂ්කරතාවන් සැලකිල්ලට ගනිමින් විධායක සේවාවල පිරිස් සඳහා මේ මස 01වන දින සිට රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දීමට පසුගිය 26වන දින ආණ්ඩුව තීන්දුවක් ගත් බවත් මේ අනුව ප්‍රාථමික ද්විතීයික සේවාවල පිරිස්වලට අදාළ දීමනාව ලබා දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද පැවසීය.

එහෙත් එම ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොමැති නිසා අද සහ හෙට ප්‍රාථමික හා ද්විතීයික සේවාවල සේවය කරන ලක්ෂ පහකට අධික පිරිසක් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වන බවත් මෙම ක්‍රියාමාර්ගවලට අනුවත් නිසි ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී විරෝධතා සතියක් නම් කර ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය.

මෙම ඉල්ලීම් දිනා ගැනීම සඳහා තම සන්ධානයට අයත් වෘත්තීය සමිති දෙසිය පහකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වී සිටින බවත් පවතින ආර්ථික අර්බුදය නිසා වැඩියෙන්ම දුෂ්කරතාවන්ට පත්ව සිටින්නේ රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල සේවය කරන පිරිස් බවද කියා සිටියේය.

අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ සේවකයන් අද හෙට සේවයෙන්ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.

මීට අමතරව රාජ්‍ය සේවකයින්ට රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් හෙට දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා ව්‍යාපර පැවැත්වීමටත් කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.

අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වුවත් රාත්‍රී කාලයේදී පාසල්වල මුරකරුවන් රාජකාරි සිදුකරන බවත් එහෙත් දහවල් කාලයේදී මුරකරුවන්සේවයෙන් ඉවත්වන බවත් පාසල් නේවාසිකාරගාර කටයුතු මෙම දින දෙක තුළදීත් සාමාන්‍ය ලෙස පවත්වාගෙන යන බවද පවසා සිටියේය.

මීට අමතරව පවතින ආර්ථික අර්බුදය නිසා රාජ්‍ය සේවයේ මූලික වැටුප රුපියල් විසිදහසකින් වැඩි කළ යුතු බවත් අදාල ඉල්ලීම් මුල් කර ගනිමින් තම වෘත්තීය සමිති සන්ධානයට අයත් පිරිස් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කරන බවද රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.

මහ බැංකු සේවකයන්ගේ සිට විධායක නිලධාරීන් දක්වා වැටුප් හා දීමනා වැඩිකර තිබෙන බවත් එහෙත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු වැටුප් හෝ දීමනාවක් වැඩි කිරීමට කටයුතු කර නොමැති බවද ඔහු පැවසීය.

මේ අනුව, මූලික වැටුප වැඩි කරන ලෙස ඉල්ලා අද සහ හෙට තම සන්ධානය අයත් සංවර්ධන නිලධාරී, කාර්යාල කාර්ය සහායක සේවාවේ පිරිස් රජයේ රියදුරු සේවාවේ පිරිස් තැපැල්සේවකයන්, ග්‍රාම නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, නිලධාරී, සමෘද්ධි නිලධාරී, සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන් සේවයෙන් ඉවත්වන බවද සඳහන්කළේය.