බසයේ යමින් සිටි තරුණියගේ කොණ්ඩය අඩියක් කැපූ මවුලවිට වුණ දේ!

බසයේ යමින් සිටි තරුණියගේ කොණ්ඩය අඩියක් කැපූ මවුලවිට වුණ දේ!

බස් රථයක ගමන් කරමින් සිටි 27 හැවිරිදි තරුණියකගේ කෙස් කළඹේ අඩියක පමණ ප්‍රමාණයක් කතුරක් භාවිතා කරමින් කපා ඉවත් කළ බව කියන මුරුතලාව ප්‍රදේශයේ පල්ලියක මවුලවිවරයෙකු බව කියන පුද්ගලයෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම තරුණිය කටුගස්තොට සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක අසුන් ගෙන සිටියදී එම අසුනේ පිටුපස අසුනේ සැකකරු වාඩිවී සිටිමින් එසේ ඇයගේ කොණ්ඩය කපා දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සිද්ධියට මුහුණ දුන් තරුණිය එම අවස්ථාවේදීම ඇයගේ ජංගම දුරකථනයෙන් සැකකරු සහ ඔහු විසින් කපා දැමූ කොණ්ඩයේ කොටසද වීඩියෝ ගත කර තිබුණි.

මඩවල ප්‍රදේශයේ පදිංචි එම තරුණිය කිසියම් අවශ්‍යතාවයක් සඳහා මහනුවර බලා ගමන් කරමින් සිටියදී සිද්ධියට මුහුණ දී ඇති අතර ඇයගේ දැනුම්දීමට අනුව බස් රථයේ මගීන් විසින් සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබේ.

එසේ අත්අඩංගුවට ගත් සැකකරු මුර්තලාව දෙහිඅංග උතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඊයේ (13) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඔහු මානසික රෝග වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමට උසාවියේ අවසරය පතන බව පොලිස් ප්‍රකාශකයකු පැවසීය.

මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.