අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාවකගෙන් ලක්ෂ පනහක කප්පමක් ඉල්ලයි

අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාවකගෙන් ලක්ෂ පනහක කප්පමක් ඉල්ලයි

තම සැමියා හා ලිංගිකව හැසිරෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරමින් සැමියා අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ පනහක කප්පමක් ඉල්ලූ විශ්‍රාමික කාන්තා පොලිස් කොස්තාපල්වරියක් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම මෙම අපරාධයට ආධාර අනුබල දීම හා සැලසුම් කිරීම සම්බන්ධයෙන් සැකකාර පොලිස් නිලධාරිනියගේ සැමියා වන ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයා පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ කාන්තාවක සමගින් අනියම් ඇසුරක් පවත්වා ඇති අතර මොවුන් දෙපළ අවස්ථා ගණනාවකදි ලිංගිකවද හැසිර ඇතැයි කියයි. මෙලෙස ලිංගිකව හැසිරෙන අවස්ථා පොලිස් කොස්තාපල්වරයා සිය ජංගම දුරකතනයෙන් පටිගත කරගෙන ඇත.

මේ පිළිබදව දැනගත් පොලිස් කොස්තාපල්වරයාගේ නීත්‍යනුකූල බිරිද සිය සැමියා හා ඇසුරු කරන කාන්තාව දුරකතන මගින් සම්බන්ධ කරගෙන ඇයව අඹේපුස්ස ප්‍රදේශයට ගෙන්වාගෙන ඇත.

පසුව සැමියාගේ ජංගම දුරකතනයේ තිබූ වීඩියෝ දර්ශන එකිනෙක පෙන්වමින් මෙය අන්තර්ජාලයට මුදා නොහැරීමට නම් තමාට රුපියල් ලක්ෂ පනහක් දෙන ලෙසට තර්ජනය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාව විසින් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය වෙත කරන ලද පැමිණිල්ලට අනුව එම කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සමන්ති රේනුකා ඇතුළු නිලධාරීන් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

මේ අනුව විශ්‍රාමික කාන්තා පොලිස් කොස්තාපල්වරියත් ඇයගේ සැමියා වන පොලිස් කොස්තාපල්වරයාත් අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකාර කාන්තාව අනියම් ලෙස ඇසුරු කළ පොලිස් කොස්තාපල්වරයාට කප්පම් ඉල්ලීම ගැන කියා ඇති බවත් එහිදී ඔහු එම මුදල් දීලා දානවා යනුවෙන් පවසා ඇති බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සැකකාර පොලිස් අඹුසැමි යුවල සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමේ පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවත් පොලිස් කොස්තාපල්වරයාගේ වැඩතහනම් කිරීමට නියමිත බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.