උපාධිධාරි තරුණියක් හදිසියේ ජීවිතක්ෂයට

උපාධිධාරි තරුණියක් හදිසියේ ජීවිතක්ෂයට

ග්‍රාම නිලධාරි විභාගයෙන් සමත් වී පත්වීම ලබා ගැනීමට පුහුණුව ලබමින් සිටි 25 හැවිරිදි උපාධිධාරිනියක මියගොස් ඇති බව උඩදුම්බර පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, හුන්නස්ගිරියේ රඹුක්පොත පදිංචි පිලිප් නග්මා නමැති තරුණියකි.

ඇයගේ මොළයේ තිබූ ගෙඩියක් පිපිරී රුධිරය වහනය වීමෙන් මෙම මරණය සිදු වී ඇති බවට තෙල්දෙණිය රෝහලේදී සිදුකල මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වී තිබේ.

තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ආර්.එම්.ආර්. අනුරුද්ධ රත්නායක මහතා පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය පවත්වා තිබුණි.

උඩදුම්බර පොලිසියේ පොලිස් සැරයන් අබේසිංහ මහතාගේ ( 27139) සාක්ෂි මෙහෙයවීම යටතේ මැදදුම්බර හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පී.කේ. අබේරත්න මහතා පැවැත්වූ මරණ පරීක්ෂණයේදී මිය ගිය යුවතියගේ පියා සාක්ෂි ලබා දෙමින් මෙසේ පැවසීය.

” මගේ දුව හුන්නස්ගිරිය ශිවනේෂ්වරා විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. ඉන් පස්සෙ මඩකලපුව විශ්ව විද්‍යාලයට තේරුණා.

උපාධිය ලබා ගැනීමෙන් පසුව ග්‍රාම නිලධාරි විභාගයට පෙනී හිටියා.

ග්‍රාම නිලධාරි විභාගය පාස් වෙලා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පත් වීම ලැබුණා.

එහිදී පුහුණුව ලබා සිටින කාලයේදී තමයි දුව මියගියේ. දුව ගොඩක් දුක් මහන්සි වෙලයි ඉගෙන ගත්තේ.

 දුව මිය ගිය එක ගැන මමයි මගේ බිරිඳයි ගොඩක් දුක් වෙනවා.”