බොරු ගෑස් – තෙල් පෝලිම් හදා වීඩියෝ කරන්න හැදූ තැනකට මැතිවරණ නිරීක්ෂකයින් කඩා පනී

බොරු ගෑස් – තෙල් පෝලිම් හදා වීඩියෝ කරන්න හැදූ තැනකට මැතිවරණ නිරීක්ෂකයින් කඩා පනී

මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ ලෙස තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ පොලිසිය එක්ව එය වහාම නතර කිරීමට පියවර ගෙන තිබේ .

කටුගස්තොට වීරකෝන් උද්‍යානය ප්‍රදේශයේ ඇති තරු හෝටලයක සිටින විදේශිකයන් කණ්ඩායමක් ත්‍රිරෝද රථවල ගමන් කිරීමට කැමැත්තෙන් සිටින බව පවසා ත්‍රී රෝද රථ විශාල සංඛ්‍යාවක් එම ඉන්ධන පිරවුම් හල අසලට කැඳවා එම ව්‍යාජ ඉන්ධන පෝලිම වීඩියෝ ගත කිරීමට සැලසුම් කොට තිබී ඇත.

ඒ අතර ව්‍යාජ ගෑස් පෝලිම සඳහා දිගන ප්‍රදේශයේ වත්තක කම්කරුවන් 50-60ක පමණ පිරිසක් රුපියල් 2500 බැගින් ගෙවා එම ස්ථානයට ගෙනවිත් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම වීඩියෝ වැඩසටහන කිසියම් ජනාධිපති අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාවය මත සිදුකිරීමට කොන්ත්‍රාත්තුව බාරගත් පුද්ගලයා බව පොලිසිය කියයි .

සිද්ධිය අනාවරණය වීමත් සමග මහනුවර මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ කටුගස්තොට පොලිසිය එම ස්ථානයට වහාම පැමිණ එම වැඩසටහන නතර කිරීමට පියවර ගෙන තිබෙන අතර ව්‍යාජ ගෑස් පෝලිමේ රැඳී සිටි කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් එම ස්ථානයෙන් ඉවත්කොට වෙනත් ස්ථානයකට යැවීමට මැතිවරණ නිරීක්ෂණයෙන් නිලධාරීන් සහ පොලිසිය කටයුතු කොට තිබේ