ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

වැසි තත්ත්වය සමග කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් නාගරික හා ප්‍රාදේශීය ප්‍රදේශ ආශ්‍රිතව ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී. සුගීෂ්වර පැවැසීය.

පසුගිය දිනවල බස්නාහිර, සබරගමුව, දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක, වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්ක ආශ්‍රිතව ඇද හැලුණු අධික වර්ෂාපතන තත්ත්වය නිසා එම ප්‍රදේශය හරහා ගලා බසින ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ඔහු කීවේය.

කළු ගඟේ කුඩා ගඟ අතු ගංගාවේ බුලත්සිංහල, මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම් ප්‍රදේශ ඊයේ (20 වැනිදා) සවස් කාලයේදීත් ජලයෙන් යටවී තිබිණි. මෙම ප්‍රදේශවල මාර්ග රැසක් ද ජලයෙන් යටවී තිබේ.

අත්තනගලු ඔය ද්‍රෝණියේ අත්තනගල්ල, ගම්පහ, ජාඇල, වත්තල, කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේද පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කීවේය.

වැසි තත්ත්වය හෙට (21 වැනිදා) සිට අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවැසීය. කෙසේ නමුත්, වරින් වර මෝසම් වැසි අඩු වැඩි වශයෙන් ඇදහැලීමේ හැකියාව පවතින බව ද ඔහු කීවේය.

අද දිනයේදී ද බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළුතර, පුත්තලම සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පවුල් 929කට අයත් පුද්ගලයන් 3,243 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.