එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා ගජමුතු තුනක් සමග තිදෙනෙකු අත්අඩංගුවට

එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා ගජමුතු තුනක් සමග තිදෙනෙකු අත්අඩංගුවට

රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ගජමුතු 03ක් අලෙවි කිරීමට පැමිණි තිදෙනෙකු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාවනැල්ල හා පුත්තලම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28, 31 හා 65 හැවිරිදි වියේ පසූවූ තිදෙනෙකි.

මොවුන් නීති විරෝධි ලෙස ඉතා සූක්ෂම අයුරින් මෙම ගජමුතු අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටින බවට පාලවිය ගුවන් හමුදා බුද්ධි අංශ නිළධාරින්ට ලද තොතුරකට අනුව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් දැනුවත් කර ඉන් අනතුරුව විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් උපාය දූතයකු යොදවා අදාල ජාවාරමට සම්බන්ධ තැරව්කරු සමග දුරකථනය ඔස්සේ සති කිහිපයක් කතා බස් කිරීමෙන් අදාල තැරව්කරු විසින් අලෙවිකරුවන්ට ගජමුතු තුනද රැගෙන පුත්තලමට එන ලෙස දන්වා තිබේ.

පසුව අදාල අලෙවිකරුවන් මාවැනැල්ල ප්‍රදේශයේ සිට මරුටි වර්ගයේ කාර් රථයකින් ගජමුතුද රැගෙන පුත්තලමට පැමිණි අවස්ථාවේදී පුත්තලම කලපු තීරය ඉදිරිපිටදී සැකකරුවන් සහ ඔවුන් සන්තකයේ තිබූ ගජමුතු තුනක් ජංගම දුරකථන දෙකක් සමග ඒවා ප්‍රවාහනයට යොදා ගැනුන කාර් රථයද පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කල මූලික ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත්තේ, මාවනැල්ල ප්‍රදේශයේ සිය ඥාති සහෝදරයකු විසින් පවත්වා ගෙන යනු ලබන ස්වර්ණාභරණ ‍වෙළදසැල වෙත මෙම ගජමුතු අලෙවි කර දෙන ලෙස කිසියම් පුද්ගලයකු විසින් ලබා දී තිබූ ගජමුතු බවත්, ඒවා රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කිරීමට තමන් කටයුතු කරමින් සිටි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් වැඩිදුර විමර්ශණ සදහා පුත්තලම මූලස්ථාන පොලිසිය වෙත භාර දීමට කටයුතු කර තිබූ අතර, ඔවුන් පුත්තලම පොලිසිය මගින් පුත්තලම මෙහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන