ව්‍යාජ අංක තහඩු ජීප් රියට ප්‍රසිද්ධ දේවගැතිවරයෙක් අල්ලයි

ව්‍යාජ අංක තහඩු ජීප් රියට ප්‍රසිද්ධ දේවගැතිවරයෙක් අල්ලයි

දිගන ප්‍රදේශයේදී පොලීසිය විසින් සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය වසර ගණනාවක් තිස්සේ පාවිච්චි කරනු ලැබ ඇත්තේ කලක් මහත් ප්‍රසිද්ධියට පත්ව තිබූ ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා බව අනාවරණය වීමෙන් පසු පොලීසිය ඊයේ (02) පස්වරුවේ ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් නොමැති නිවසක ගරාජයේ ගාල්කර තිබිය දී තෙල්දෙණිය පොලිසිය විසින් මෙම ජීප් රථය සොයාගෙන තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා (මීට දින කිහිපයකට පෙර වෙඩි තබාගෙන සියදිවි හානි කරගත්) විසින් මෙම ජීප් රථය සති කිහිපකට පෙර අදාළ ස්ථානයට ගෙනවිත් දැමූ බව දේවාගැතිවරයා ගේ පුත්‍රයෙකු මීට පෙර පවසා තිබුණි.

මහනුවර පිලපල ප්‍රදේශයේ කාන්තාවකට අයත් ජීප් රථයක අංකය යොදා ගනිමින් මෙම ජීප් රථය සැකකරු ඇතුළු පවුලේ උදවිය භාවිතා කර තිබෙන බවට තොරතුරු හෙළිව තිබෙන බවත් මෙම දේවගැතිවරයා රන් කිලෝ හතරක පහක පමණ ප්‍රමාණයක් පැළඳ ප්‍රසිද්ධ ස්ථාන වල සැරිසරණ අතර පසුගිය කාලයේ දී ගාල්තැන්නේ පිහිටි ඔහුගේ දේවාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට මධ්‍යම පළාතේ හිටපු ඉහළ පොලිස් නිලධාරීන් කටයුතු කර තිබිණි.

කොටස් එකලස් කර සකස් කරන ලද වාහන කිහිපයක් ද සහිතව මෙම දේවගැතිවරයා සතුව ඩිෆෙන්ඩර් ජීප් රථ ඇතුළු වාහන ගණනාවකින් සමන්විත වාහන අංගනයක් තිබෙන බවත් එම තොරතුරු මත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතයි පොලිසිය පවසයි.