වතු නිවාස 17ක් ගින්නකට බිලි

වතු නිවාස 17ක් ගින්නකට බිලි

පුඬළුඔය – සීන්වත්ත වතුයායේ වතු නිවාස පෙළක ඊයේ රාත්‍රීයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් වතු නිවාස 17ක් විනාශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් නිවාස 08ක් මුළුමනින්ම විනාශයට පත්ව ඇති අතර තවත් නිවාස 09කට දැඩි හානි සිදුව තිබෙනවා.

එක් නිවසක මෙම ගින්න හටගෙන ඇති අතර පසුව එය ශීඝ්‍රයෙන් නිවාස පෙළටම ව්‍යාප්ත වී ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්නෙන් පදිංචිකරුවන්ගේ දේපළ රැසක් ද විනාශයට පත්ව ඇති අතර ගින්න පාලනය කිරීමට පුඬළුඔය පොලීස් නිලධාරීන් සහ වතු කම්කරුවන් දැඩි වෙහෙසක් ද දරා තිබුණා.

සිද්ධියෙන් එම නිවාසවල පදිංචිව සිටි පවුල් 27ක පුද්ගලයන් 87 දෙනෙකු මේ වනවිට අවතැන්ව සිටින බවයි පොලීසිය පැවසුවේ.

අවතැන් වු පිරිස අතර ගැබිණි මව්වරුන් තිදෙනකු හා මාස නවයක් වයසැති කුඩා දරුවකුද සිටින බව සඳහන්.

අවතැන් වු සියළු දෙනා මේ වනවිට ෂීන් වත්තේ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක තාවකාලිකව නවතා තිබෙනවා.

පුඬළුඔය – ෂීන්වත්ත වතුයායේ පිහිටි එම වතු නිවාස පෙළ නිවාස 24කින් සමන්විත වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.