වත්තල ගෙයක් ගිනිගෙන පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වත්තල ගෙයක් ගිනිගෙන පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වත්තල, මාටාගොඩ ප්‍රදේශයේ නිවසක ඊයේ (29) රාත්‍රී කාලයේ ඇති වූ හදිසි ගින්නකින් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 90ක් වූ මාටාගොඩ, හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මිය ගොස් ඇති බවයි.

ඊයේ රාත්‍රියේ නිවසක ගින්නක් හටගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අදාළ නිවසේ ගින්න මැඩ පවත්වා ඇති අතර එහිදී තෙමහල් නිවසේ දෙවන මහලේ කාමරයක් තුළ තිබී පිළිස්සුම් තුවාල ලබා මියගොස් සිටි වයෝවෘද්ධ පුද්ගලයාගේ සිරුර පසුව සොයාගෙන තිබේ.

මරණකරුගේ බිරිඳ දින කීපයකට ඉහතදී රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටින දියණියගේ නිවසට ගොස් සිට ඇතැයි, පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.