විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ මතු වූ ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පල කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරතවනවා.

එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණා.

ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදීමට අවස්ථාව හිමිව තිබෙනවා.

මේ වනවිටත් දෙමාපියන් විරෝධතාවයේ නියැලෙන අතර, පොලීසිය සහ කැරලි මර්දන ඒකකය එම ස්ථානයට ගෙන්වා ඇති බවද සඳහන් .

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල වුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව කඩිනම් විමර්ශනයක් සිදුකළේ ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් පැමිණිලි ඉදිරිපත් වූ පසුබිමකයි..

ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඩුල්ලේද එකඟත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කළා.

මේ අතර පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට ආරම්භයට ටික වේලාවකට පෙර සමාජ මාධ්‍ය වෙත මුදා හැරී බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ද විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

ප්‍රශ්න පත්‍රය සාමාජ මාධ්‍යයට මුදා හැරි බව කියන විභාග නිරීක්ෂකයා ඇතුළු 6 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ සඳහන් කළා