වසර 13 කට පසු දීප ව්‍යාප්ත අලි සංගණනයක් අද සිට

වසර 13 කට පසු දීප ව්‍යාප්ත අලි සංගණනයක් අද සිට

වසර 13 කට පසු දීප ව්‍යාප්ත අලි සමීක්ෂණය අද (17) ආරම්භ වෙයි.

ඒ අනුව අද හෙට සහ අනිද්දා දිවයින පුරා සමීක්ෂණ මධ්‍යස්ථාන 3130 කදි අලි ඇතුන් නිරීක්ෂණය කරන බවයි, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ.

මෙරට සිටින අලි ගහනයේ සමස්ථ තත්ත්වය නිරූපනය කළ හැකි දීපව්‍යාප්ත පදනමකින් යුතුව පවත්නා දත්ත හා තොරතුරු යාවත්කාලීන කිරීම වෙනුවෙන්, අලි සමීක්ෂණයක් අවසන් වරට පවත්වා ඇත්තේ 2011 වසරේදී ය.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ හේතුවෙන් දුෂ්කරතාද මේ වනවිට ඉස්මතුවෙමින් පවතින බවයි.

ඒ අනුව මෙරට වසන අලි ගහනය, එහි ගතිකත්වය, වර්තමානයේදී අලි ගහනයේ ගුණාත්මක බව නිරූපනය කළ හැකි අනුපාත අගයන් යනාදිය සම්බන්ධ දැනුම යාවත්කාලීන කර ගැනීම සඳහා මෙම දීප ව්‍යාප්ත අලි සමීක්ෂණය සිදුකෙරෙනු ඇති.

ආසියානු අලියා වාසය කරන සීමිත රටවල් සංඛ්‍යාව අතරින් එකක් වන ශ්‍රී ලංකාව, අලි සංරක්ෂණය, ජාතික ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඇති අතර ජාත්‍යන්තර සංරක්ෂණ ප්‍රයත්නයන්හි දායකත්වය දැරීමේදී එම කාර්යභාරය මෙරට වගකීමක් බවට පත්කර ඇතැයිද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.