පුංචි ඡන්දෙට අළුතින් නාම යෝජනා කැඳවන්න කැබිනට් අනුමැතිය

පුංචි ඡන්දෙට අළුතින් නාම යෝජනා කැඳවන්න කැබිනට් අනුමැතිය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය අහිමි වී ඇති ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නාම යෝජනා නැවත කැඳවීමට අවශ්‍ය විධිවිධාන සලසා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2023-03-09 දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් යාම හේතු කොට ගෙන 2024 වර්ෂයේ අලුත් කරන ලද ඡන්ද හිමියන්ගේ නාම ලේඛනයෙහි නම ඇතුළත්ව ඇති 900,000කට අධික ඡන්ද දායක පිරිසකට ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ලබා දීම සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමට ඇති අයිතිවාසිකම අහිමි වී යාමට ඉඩ ඇති බව පෙනී ගොස් ඇතැයි රජය පවසයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාව ප්‍රකාරව වයස අවුරුදු 18 ක් සම්පූර්ණ වී ඇති, ඡන්ද හිමියෙකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත් කරනු ලැබ ඇති සෑම පුරවැසියෙකුටම සිය ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට හැකි විය යුතු නමුත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා 2023 ජනවාරි මස නාම යෝජනා කැඳවා අවසන් වී ඇති බැවින් එකී නාම යෝජනා මත පවත්වනු ලබන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ එතෙක් ලියාපදිංචිව සිටි ඡන්ද දායකයින්ට පමණක් බවට නිරීක්ෂණය වී ඇත.

එසේම, 2023 අංක 30 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත සම්මත වීමෙන් පසුව පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කරනු ලබන නාම යෝජනා පත්‍රවල 25%ක තරුණ නියෝජනයක් සඳහා අවකාශ සැලසීම සිදු කළ යුතුව ඇත. එහෙත්, මේ වන විට 2023 වර්ෂයේදී නාම යෝජනා කැඳවා තිබීම හේතුවෙන් තරුණ ප්‍රජාව සඳහා 25% අනිවාර්ය අවස්ථාව මග හැරී ගොස් තිබේ.

එබැවින්

* ඉදිරියේදී නියමිත පැවැත්වීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත්ව ඇති එහෙත් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වී ඇති ඡන්ද දායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම් ආරක්ෂා කරලීම සඳහා ද;

* 2024 ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් තරුණ ඡන්ද දායකයින් 900,000 කට වැඩි පිරිසකට ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඡන්දය සඳහා ඉදිරිපත් වීමේ මූලික අයිතිවාසිකම් අහිමි වී යාමට ඉඩ ඇති බැවින් එකී අයිතිවාසිකම් ආරක්ෂා කරලීම සඳහා ද;

* 2023 අංක 30 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ විධිවිධාන ප්‍රකාරව ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේදී තරුණයින් සඳහා වන කෝටාව අහිමි වී යාම හේතුවෙන් අසාධාරණයට ලක් විය හැකි තරුණ අයිතිවාසිකම් කරදීම සඳහා ද;

* 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවීමටත්, ඉන් අනතුරුව 2024 ඡන්ද නාම ලේඛනය පදනම් කර ගෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නාම නැවත යෝජනා කැඳවීමටත් මැතිවරණ කොමිෂන් සභාව වෙත අවශ්‍ය බලතල ලැබෙන පරිදි, එකී කොමිෂන් සභාව විමසමින්, යෝග්‍ය විධිවිධාන ඇතුළත්ව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.