දුම්රිය මගීන්ට අද සිට E-Ticket

දුම්රිය මගීන්ට අද සිට E-Ticket

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම සදහා වූ “pravesha” වෙබ් අඩවිය ඊයේ (22) එළිදක්වා තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහගේ සහභාගීත්වයෙන් නෙලුම් කුළුණ පරිශ්‍රයේදීයි.

ඒ අනුව, www.prawesha.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් සියලු දුම්රිය ගමන්වාරවල ප්‍රවේශ පත් වෙන් කරවා ගත හැකි බවයි, දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ.

දැනට දුම්රිය ධාවනය වන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට අවශ්‍ය 02 වන හා 03 වන පන්තියේ ප්‍රවේශ පත්‍ර බැංකු මගින් නිකුත් කරනු ලබන ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් මුදල් ගෙවා මිලදී ගත හැකිවන අතර, මුදල් ගෙවූ පසු sms පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයකින් මුදල් ගෙවන්නාගේ ජංගම දුරකථනය වෙත ප්‍රවේශපතේ QR කෝඩ් එක එවන බව පැවසේ.

ඒ අනුව, එම QR කෝඩ් එක අදාළ දුම්රිය ස්ථානයෙන් පරීක්ෂා කර ප්‍රවේශ පත්‍රයේ සදහන් ගමන් කරන දිනය තුළදී පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව හිමිවේ.

ගමන් කිරීමට අපේක්ෂා කරන දිනට දින හතකට පෙර සිට මෙම වෙබ් අඩවිය ඔස්සේ ඩිජිටල් ප්‍රවේශපත්‍ර ලබාගත හැකියි.