මව ගෙන ආ විෂ මාළු කෑ දියණිය මරුට – මවට අසාධ්‍යයයි

මව ගෙන ආ විෂ මාළු කෑ දියණිය මරුට – මවට අසාධ්‍යයයි

මාළු වර්ගයක් ආහාරයට ගත් මඩකලපුව ප්‍රදේශයේ තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

අදාළ මාළු වර්ගය ආහාරයට ගත් අදාළ තරුණියගේ මව ද බරපතළ තත්ත්වයෙන් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇති තරුණිය 27 හැවිරිදි වියේ පසුවන්නියක් බවයි වාර්තා වුණේ.

කලවන්චිකුඩි පොලිස් වසමේ කළුදාවලි වෙරළ තීරයේ ධීවරයින් පිරිසක් විසින් ඊයේ (08) එලූ මාදැලකට හසු වූ මාළු වර්ගයක් පැත්තකට දමා ඉවත්කර තිබිය දී මියගිය තරුණියගේ මව එය රැගෙන යෑමට විමසා තිබෙනවා.

එම අවස්ථාවේ දී එහි සිටි ධීවරයින් විසින් පවසා ඇත්තේ අදාළ මාළු වර්ගය විෂ සහිත බැවින් ආහාරයට නොගන්නා බවයි.

එලෙස ආහාරය නොහැනීම හේතුවෙන් එම මාළු වර්ගය එලෙස පසෙකට දමා ඉවත්කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ කාන්තාව සතෙකුට ලබාදෙන බව පවසමින් එම මාළු වර්ගය නිවසට රැගෙන ගොස් පිළියෙළ කර සිය දියණිය සමඟ ආහාරයට ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඉන් අනතුරුව ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අදාළ කාන්තාව සහ දියණිය මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ දක්වා සිදුකර නොමැති බවයි.

Share This