ගල් වලක දිය නෑමට ගිය මවක් ජීවිතක්ෂයට – දරු දෙදෙනා අතුරුදන්

ගල් වලක දිය නෑමට ගිය මවක් ජීවිතක්ෂයට – දරු දෙදෙනා අතුරුදන්

Update:

තිස්සමහාරාම ගල්වලක දියනෑමට ගොස් අතුරුදන් වූ දරු දෙදෙනාගේ සිරුරද අද (22) උදෑසන සොයාගත් බව තිස්සමහාරාම පොලීසිය පවසයි.

මව සමඟ ඊයේ දියනෑමට ගොස් සිටි දරු දෙදනා අතුරුදන් වී තිබු අතර දියේ ගිලුණු මවගේ සිරුර ඊයේ දිනයේදීම සොයාගෙන තිබිණි.


තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල් වලක තම දියණියන් දෙදෙනා සමඟ දියනෑමට ගිය 32 හැවිරිදි මවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම, මව සමඟ දිය නෑමට ගිය දියණියන් දෙදෙනාද මේ දක්වා අතුරුදන්ව ඇති බව තිස්සමහාරාම පොලිසිය පැවසීය.

මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ, තිස්සමහාරාම, කාවන්තිස්ස පුර, සාමගුලිය ප්‍රදේශයේ පදිංචි මනෝරි සුරංගිකා නමැති දෙදරු මවකි.

අතුරුදන්ව ඇත්තේ 14 හැවිරිදි නෙත්මි හේමන්තිකා සහ 9 හැවිරිදි දේවින්දි නමැති දියණියන් දෙදෙනාය.

මවගේ සිරුර ඊයේ (21) රාත්‍රියේම සොයාගෙන ඇති අතර දරුවන් දෙදෙනාගේ සිරුරු සොයා ජීවිතාරක්ෂක කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි, තිස්සමහාරාම පොලීසිය පැවසුවේ.

මොවුන් තිදෙනා ඊයේ (21) පස්වරු 6.00ට පමණ මෙම ගල්වළේ දිය නෑමට ගොස් ඇති බව වාර්තා වේ.