හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වෙඩි තබා ඝාතනය කරයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වෙඩි තබා ඝාතනය කරයි

අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, 2002 වසරේදී ශ්‍රී ලංකා 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ පදිංචි 41ක් හැවිරිදි ධම්මික නිරෝෂණ නමැති දෙදරු පියෙකි.

ඔහු සිය නිවස ඉදිරිපිට රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙසේ වෙඩි තබා පලා ගොස් ඇති බවයි, අම්බලන්ගොඩ පොලීසිය පැවසුවේ.

එම වෙඩි ප්‍රහාරය ඔහුගේ හිසට එල්ල වී ඇති බවයි, පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මිය ගිය පුද්ගලයා පාතාල කණ්ඩායම් සාමාජික දැනට ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින දසුන් මානවඩුගේ ගෝලයෙකු බවද පොලීසිය පවසයි.

ඔහු ඩුබායි සිට මෑතකදී ලංකාවට පැමිණ සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරුවී ඇති බව පොලීසිය කියයි.

ඝාතනයට ලක් වූ ධම්මික නිරෝෂණ අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් මීට පෙර චෝදනා ලැබ සිටි අයෙක් නොවන බවද පොලිසිය පවසයි.

ඔහුගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය රෝහල වෙත යොමුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.