මහා පරිමාණ මත්ද්‍රව්‍ය නඩුවකින් බේරුණු තුන්දෙනෙක් යළි අල්ලන්න වරෙන්තු

මහා පරිමාණ මත්ද්‍රව්‍ය නඩුවකින් බේරුණු තුන්දෙනෙක් යළි අල්ලන්න වරෙන්තු

ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී 2019 වසරේ උතුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහිව නඟා තිබු කුඩු කිලෝ ග්‍රෑම් 196 ක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් තිදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ ඒ සඳහා ඊයේ (04) විවෘත වරෙන්තු නිකුත් කළේය.

පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය කරුණු දක්වමින් මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරුණු තවරාසා සුදාකරන්, අලගේසුපිල්ලේ තවරාසා සහ කන්දයියා චන්ද්‍ර කුමාර නමැති විත්තිකරුවන් විදේශවලට පලා ගොස් ඇතැයි කියමින් කළ ඉල්ලීමක් පිළිගනිමින් පංච පද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස විවෘත වරෙන්තු නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී මහමුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනා නිදොස් කොට නිදහස් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුව ඉවත දමා විත්තිකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් නියම කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

තවරාසා සුදාකරන් නමැති විත්තිකරු මැලේසියාවටත්, කන්දයියා චන්ද්‍ර කුමාර් නැමැති විත්තිකරු සිංගප්පූරුවටත් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කී සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය විත්තිකරුවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට අදාළ නීතිමය පියවර ආරම්භ කර ඇතැයිද කීවාය.

අධිකරණය මඟහැර විදේශ රටවලට පලා ගොස් ඇති මෙම පුද්ගලයින් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඔවුන්ට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටි සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු පිටපත් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ විත්තිකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට නියම කරමින් විවෘත වරෙන්තු නිකුත් කෙරිණී.