හිටපු නීතිඥවරයෙකු නඩු විභාගයක් අතරතුර සිහිසුන්ව ඇද වැටෙයි

හිටපු නීතිඥවරයෙකු නඩු විභාගයක් අතරතුර සිහිසුන්ව ඇද වැටෙයි

අධිකරණයට අපහාසාත්මක වන ආකාරයේ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, නීතිඥභාවය අත්හිටුවා ඇති ධර්මසිරි කරුණාරත්න නමැති අයට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල අද විභාගයට ගැණුනා.

එහිදී ධර්මසිරි කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිහිසුන්ව ඇද වැටී තිබෙනවා.

පසුව අධිකරණ ආරක්ෂක නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව රෝද පුටුවකින් ඔහුව පිටතට රැගෙන ගොස් තිබෙනවා.

මෙම පැමිණිල්ල අද මුර්දු ප්‍රනාන්දු, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පැමිණිල්ල පිළිබඳ විභාගය ඔක්තෝබර් මස 30 වනදා පැවැත්වීමට දින නියම කළා.

අභියාචනාධීකරණයේ ලේඛනාගාරයට ඇතුළු වී එහි තිබූ නඩු ගොනුවක තිබූ ලේඛන කීපයක් ලබාගෙන ඒවා විනාශ කළේ යැයි චෝදනා එල්ල වී සිටින ධර්මසිරි කරුණාරත්නගේ නීතිඥභාවය අත්හිටුවා ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට ද අධිකරණය විසින් නියෝග කළා.