ජනාධිපතිවරණයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අද

ජනාධිපතිවරණයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අද

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකට යොමු නොකර ජනාධිපතිවරණයක් පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) සලකා බැලීමට නියමිතව තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති වීම නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තෙක් ජනාධිපතිවරණයක් පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පසුගිය සිකුරාදා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

අදාළ පෙත්සම මගින් පෙත්සම්කරු පෙන්වාදී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින්, 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කොට තේරී පත්වෙන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බවය.

එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කර තිබුණ ද එය ජනමත විචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බව පෙත්සම්කාර නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පවසයි.

එම සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැලකිය නොහැකි බව ද පෙත්සම්කරු පෙන්වාදී තිබේ.

එසේ තිබියදී 19 වන සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බව ඔහු පවසයි.