කෝටි 600 ක කොකේන් විනාශ කරයි

කෝටි 600 ක කොකේන් විනාශ කරයි

අවස්ථා කිපයකදී පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බළකාය හා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණ කටයුතු අවසන් වූ රුපියල් කෝටි 600 කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත් ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තෙහි ස්ථාපිත කර ඇති අධිබල තාප උදුනේ දමා විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියෙහිදී අද (11) දහවල් සිදු විය.

එම මත්ද්‍රව්‍ය තොගය 2020 වසරේ අත් අඩංගුවට ගෙන තිබූ අතර එහි කොකේන් කිලෝ 355 යි ග්‍රෑම් 881 ක ප්‍රමාණයක් පාර්සල්වල බහා තිබිණ.

ඒ සම්බන්ධව පැවති අධිකරණ කටයුතු නිම වීමත් සමග අධිකරණය ලබා දුන් නියෝග මත මෙසේ කොළඹ සිට වනාතවිල්ලුව ලැක්ටෝ වත්තට විශේෂ පොලිස් හා පොලිස් විශේස කාර්ය බලකා ආරක්ෂාව යටතේ රැගෙන විත් විනාශ කිරීම සිදුවිය.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එක්ව ඇත.

එම අවස්ථාවට එක්වූ මහජන ආරක්ෂාව පිළිබඳව ඇමති ටිරාන් අලස් මහතා පවසා සිටියේ මේ වන විට වනාතවිල්ලුව ලැක්ටෝ වත්තෙහි ස්ථාපිත කර ඇති අධිබල තාප උදුනේදී රුපියල් බිලියන 19 ක වටිනාකමකින් යුත් හෙරොයින්, අයිස් ,කොකේන් ඇතුළු කිලෝ 1890 ක මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කර ඇති බවයි.

මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙහි නිලධාරීන්,රජයේ රස පරීක්ෂක, මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ,වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඇතුළු පොලිස් නිලධාරීහු රැසක් එක්ව සිටියහ.