රෝහලින් භාර නොගත් කිරි සිරවූ බිළිඳා මිය යයි

රෝහලින් භාර නොගත් කිරි සිරවූ බිළිඳා මිය යයි

කිරි හිරවූ දරුවකු ලැබීම රෝහලකට ඇතුළු කර ගැනීම ප්‍රතික්ෂේප වීම නිසා එම දරුවා මිය යෑමේ සිද්ධියක් මාතරින් වාර්තා වේ.

බිනුකි හා ඕෂිදු ආකීෂ් මාස දෙකයි දින 27ක් වයසැති නිවුන් දරුවෝය.

තිසර උයන, කඹුරුගමුව ලිපිනයේ පදිංචි මේ නිවුන් දරුවන් දෙදෙනාගෙන් ඕෂිදු ආකීෂ් ඊයේ (03) දින අලුයම තුනට ආසන්නව මවගෙන් උරා බිව් කිරි හිරවීමක් හේතුවෙන් නිවෙසට කිලෝමීටර් දෙකහමාරක් නුදුරින් පිහිටි ලැබීම රෝහලට ගෙන ගොස් ඇත.

එහිදී එම රෝහලේ ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට රෝහලට ඇතුළු වීමට ඉඩ නොදී දරුවා රැගෙන මාතරට යන ලෙස උපදෙස් දී තිබේ.

දරුවාගේ පියා රෝහලේ ගේට්ටු විවර කරගෙන ඇතුළට යාමට උත්සාහ කළත් ආරක්ෂක නිලධාරීන් ඔහු වළක්වා ඇත.

තවත් කාලය ගත නොකර ඔවුන් සිදු කළේ දරුවා රැගෙන මාතර මහ රෝහලට ත්‍රිරෝද රථයෙන්ම ගමන් කිරීමයි.

එම ත්‍රිරෝද රථය පදවාගෙන යන අතරතුර වල්ගම ඉන්ධන පිරවුම්හලට ආසන්නව ත්‍රිරෝද රථයේ ඉන්ධන නිමාවී ඇත.

එම අවස්ථාවේ ඉන්ධන පිරවුම්හලේ සේවකයන් ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබාදී මුදල්ද නොගෙන පිටත්කර හැර ඇත.

මාතර රෝහලට ආසන්න වන විටදී දරුවාගේ සිරුර නිසොල්මන් වී ඇත. එම රෝහලට ඇතුළත් වූ ඔවුන්ට වෛද්‍යවරුන්ගේ ප්‍රකාශවලට අනුව තහවුරු වූයේ දරුවා අතරමගදී මිය ගොස් ඇති බවයි.

රෝහලට ගෙන ඒමට කාලය ගත වූ බැවින් දරුවා මියගොස් ඇති බව වෛද්‍යවරුන් නිගමනය කර ඇත.

දරුවාගේ මව සහ මිත්තණිය ඇතුළු පවුලේ උදවිය පවසන්නේ රෝහලේ ආරක්ෂක නිලධාරීන් දරුවා රෝහලට ඇතුළත් කිරීමට ඉඩ ලබා දුන්නා නම් මෙවැනි විපතක් සිදු නොවන බවයි.

මින් ඉදිරියේදීවත් මෙවැනි විපත් සිදු නොවන්නට බලධාරින්ගේ අවධානය යොමුවිය යුතුයි.