චමුදිත සමරවික්‍රම ඝාතන සාකච්ඡාව ගැන විමර්ශන සී.අයි.ඩීයට

චමුදිත සමරවික්‍රම ඝාතන සාකච්ඡාව ගැන විමර්ශන සී.අයි.ඩීයට

මෙරටින් ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඝාතනය කිරීම සඳහා සාකච්ඡා පවත්වා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් ඉකුත් 23 වෙනිදින චමුදිත සමරවික්‍රම මහතා විසින් පිළියන්දල පොලිසිය වෙත සිදු කිරීමෙන් අනතුරුව ඔහුගේ පැමිණිල්ලෙන් අනාවරණය කළ පරිදි ජාවාරම්කරුවන් සිදුකළ සාකච්ඡාව සම්බන්ධයෙන් වීඩියෝවක් නිකුත් කරමින් අනාවරණය කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතාව ඉකුත් 24 වෙනිදින පිළියන්දල පොලිසිය වෙත කැඳවා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමට පිළියන්දල පොලිසිය මගින් කටයුතු කර තිබිණි.

එලෙස ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර තිබුණේ, නාමල් කුමාර මහතා එම වීඩියෝ හරහා අවශ්‍ය ඕනෑම මොහොතක ඒ සම්බන්ධයෙන් වූ තොරතුරු මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදීමට තමන් සූදානමින් සිටින බවට ඔහු ප්‍රකාශ කර ඇති බවට චමුදිත මහතා පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කිරීම පදනම් කරගෙනය.

“රාජපක්ෂලාගේ රෙදි හෝදන්නේ චමුදිතයා ඒ නිසා ඕකව ඉවරයක් කරලා දාන්න ඕන” යනුවෙන් සිව් දෙනකුගෙන් යුත් පිරිසේ මාතෘකාව වී තිබූ බව නාමල් කුමාරගේ එරට සිටින ශ්‍රී ලාංකික මිතුරියක ඉකුත් 21 රාත්‍රී ඔහුට දුරකථනය හරහා දැනුම් දී තිබූ බව නාමල් කුමාර නිකුත් කර තිබූ වීඩියෝවේ අඩංගුවී තිබෙන බව චමුදිත කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබිණි.

චමුදිත සමරවික්‍රම මහතා පිළියන්දල පොලිසිය වෙත පැමිණිලි කිරීමට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ද දුරකථනය හරහා මේ බව දැනුම් දී තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි

COMMENTS