චීන ජාතිකයින් 120 දෙනෙකු කුණ්ඩසාලේ දී අත්අඩංගුවට

චීන ජාතිකයින් 120 දෙනෙකු කුණ්ඩසාලේ දී අත්අඩංගුවට

මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් 120දෙනෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

එම චීන ජාතිකයන් සන්තකයේ තිබූ ලැප්ටොප් පරිගණක සියයකට අධික ප්‍රමාණයක් ද අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථන සියයකට ආසන්න ප්‍රමාණයක්ද චීන ජාතිකයන් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි .

මෙම චීන ජාතිකයන් එම හෝටලයේ නවාතැන් ගෙන සිටීමට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවද පොලිසිය කියන අතර මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.