ව්‍යාජ දුරකථන ඇමතුම් පිළිබඳ පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ව්‍යාජ දුරකථන ඇමතුම් පිළිබඳ පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ව්‍යාජ දුරකතන ඇමතුම් ලබාදී වංචා සහගත ලෙස මුදල් ලබා ගන්නා පුද්ගලයින්ට නොරැවටෙන ලෙස පොලිසිය මහ ජනතාවට දැනුම්දෙයි.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 9කට පමණ ව්‍යාජ ඇමතුම් ලබාදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අනතුරකට ලක්ව ඇති බව පවසා ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් එවන ලෙස දැනුම් දී තිබේ.

අදාළ දුරකථන ඇමතුම් ලබා දෙන පුද්ගලයින් සදහන් කර තිබුණේ, ආපදාවට ලක්වූ වාහන අලුත්වැඩියා කර ගැනීම සදහා රුපියල් 10,000ක් ජංගම දුරකතන හරහා එවන ලෙසයි.

ඇතැම් ස්ථානවලින් මුදල් ලබාදීම් ද සිදුකර ඇති බවයි, පොලිසිය පවසන්නේ.

සංවිධානාත්මක පිරිසක් වසර ගණනාවක සිට මෙම ජාවාරම සිදුකරගෙන යන බව මේ වන විට හෙළිවී තිබේ.

එසේ දුරකතන ඇමතුම් ලබාදෙන පුද්ගලයින් ගරාජයක හිමිකරුවෙකු හෝ අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු ලෙස හෝ විශේෂිත පුද්ගලයෙකු ලෙස අගවා විශ්වාසය ගොඩනගාගනිමින් මෙම ජාවාරම සිදුකරන බවයි, පොලිසිය පවසන්නේ.

මෙම දුරකථන අංක පරීක්ෂා කිරීමේදි බොහෝ අවස්ථාවල එම අංක මියගිය පුද්ගලයින්ගේ හෝ විදේශිකයින් ආශ්‍රිතව ලබාගත් සිම්කාඩ් පත් බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ක්‍රියාව ඉතා සංවිධානාත්මකව සිදුකරන බවත් එම වංචාකරුවන් බොහෝවිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හෝ යම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවටත් නිරීක්ෂණය වී ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

එබැවින්, මෙවැනි වංචනික පුද්ගලයින්ට හසු නොවන ලෙසත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත් පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

COMMENTS