බුවනෙකබා රාජසභා මණ්ඩපය කැඩූ කුරුණෑගල හිටපු නගරාධිපතිගේ දඬුවම අඩු කෙරේ

බුවනෙකබා රාජසභා මණ්ඩපය කැඩූ කුරුණෑගල හිටපු නගරාධිපතිගේ දඬුවම අඩු කෙරේ

කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන්ගේ දඬුවම එක් වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

එම විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්වල තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

2020 ජූලි 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කුරුණෑගලදී කුරුණෑගල නගර සභාව සතු දේපළ වන කුරුණෑගල දඹුල්ල මාර්ගයේ පිහිටි බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල නගර මධ්‍යයේ පිහිටි රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් එවකට කුරුණෑගල නගරාධිපතිව සිටි තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු වරදකරුවන් කරමින් වසර 3ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබුණි.

සිර දඩුවමට අමතරව රාජසභා මණ්ඩපයට කළ අලාභ හානිය සම්බන්ධයෙන් රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමටද විත්තිකරුවන්ට නියම කළ විනිසුරුවරයා රුපියල් දෙලක්‍ෂ විසිපන්දහස බැගින් දඩ මුදල් ගෙවීමටද විත්කිරුවන්ට නියම කෙරිණි.

එලෙස ගෙවීමට නියම කළ රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂ පනස් දහසක මුදල කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා විසින් ඒ අවස්ථාවේදීම ගෙවනු ලැබූ අතර ඔවුන්ට නියම කළ දඩ මුදල්ද විතිත්කරුවෝ ඒ අවස්ථාවේදීම ගෙවා දමා තිබුණි.