බිරිඳගේ පොරෝ පහර සැමියාට මරු කැඳවයි

බිරිඳගේ පොරෝ පහර සැමියාට මරු කැඳවයි

මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ විසින් ස්වාමිපුරුෂයාට පොරවකින් පහරදී බරපතල කැපුම් තුවාල සිදු කිරීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි එම සැමියා, ඊයේ (29) මියගිය බව ඉපලෝගම පොලිසිය පැවසීය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉපලෝගම, ගන්තිරියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුංචි බණ්ඩාගේ උක්කු බණ්ඩා නැමැති 74 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියට සම්බන්ධ මරණකරුගේ බිරිඳ වන ඉහත ලිපිනයේ පදිංචි වයස අවුරුදු 59ක කාන්තාවක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළේය.

ඉකුත් හය වන දින මරණකරු තම නිවසේ සාලයේ විවෘත කොටසේ බිම නිදා සිටියදී, ඔහුගේ බිරිඳ වන සැකකාරිය මරණකරුගේ හිසට පොරවකින් පහර දීම හේතුවෙන් කැකිරාව රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව පොලිසිය කියයි.

සුව කිරීමට නොහැකි වීම හේතුවෙන් ඉකුත් 24දා යලි කැකිරාව රෝහල වෙත යොමු කිරීමෙන් පසු, දියණියගේ නිවසට රැගෙන ගොස් සිටියදී පෙරේදා (29) පස්වරු 1.30ට පමණ මෙලෙස ජීවිතක්ෂයට පත් වූ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකාර බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ. යූ.එස්. හපුආරච්චි මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

Share This