මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සී. පී. අතුළුවගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමිනි.

එම ලිපියේ සඳහන් වී ඇත්තේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්තනෝමතික මැදිහත්වීම හා අනිසි බලපෑම් හේතුවෙන් සහ වර්ථමානයේදී ආයතනයේ ඉහළ කළමණාකාරීත්වය වෙත සෘජු බලපෑම් එල්ල කර මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන සහ මෙහෙයුම් කටයුතුවලට සිදුකරනු ලබන අතපෙවීම් හේතුවෙන් තමා මෙම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් මීට පෙරද ජනාධිපති ලේකම්වරයාව දැනුවත් කර ඇති බවත්, එහිදී ඔහුගේ මැදිහත් වීම මත එම කරුණු නිවැරදි කරගැනීමට අවස්ථාව ලැබුණු බවත් එම ලිපියේ සඳහන්.

තවදුරටත් කරුණු දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමත කළ නොහැකි විවිධ යෝජනා සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ මතය මහාමාර්ග අමාත්‍යංශය වෙත යොමු කළ අවස්ථාවන්හී දී, ඔහු සමග රාජකාරි කටයුතු කිරීම අපහසු බව පවසමින් මෙලෙස එම අමාත්‍යංශ ලේකම්වරයා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු අතර ගැටුම් ඇතිකිරීමට උත්සාහ කරමින් සිටින බවටද තමන්ට දැනගැනීමට හැකිවූ බවයි.

එසේ හෙයින්, තවදුරටත් මෙවැනි අත්තනෝමතික ක්‍රියා සිදු කරනු ලබන නිලධාරියෙකු යටතේ සේවය කිරීමට තමා අකමැති බවත්, ඒ අනුව තමා සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඔහු විසින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබෙනවා.