අත්තනගල්ලේ පුටු බෙදිල්ලක් මැතිවරණ කොමිසමෙන් නවත්වයි

අත්තනගල්ලේ පුටු බෙදිල්ලක් මැතිවරණ කොමිසමෙන් නවත්වයි

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අත්තනගල්ල කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන රැසකට රුපියල් ලක්ෂ 50කට අධික වටිනා භාණ්ඩ රැසක් බෙදා දීමට සූදානම් කර තිබියදී ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් විසින් මෙම භාණ්ඩ බෙදාදීම වහාම අත්හිටුවනු ලැබ තිබේ.

අත්තනගල්ල කොට්ඨාසයේ ලියාපදිංචි අවමංගල්‍යාධාර සමිති, සුබසාධක සමිති, ගොවි සමිති, කාන්තා සමිති සදහා ප්ලාස්ටික් පුටු, හට් සහ කෘමිනාශක දියර ඉසින යන්ත්‍ර මෙසේ බෙදාදීමට කටයුතු යොදා තිබී ඇත.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකගේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ මෙම භාණ්ඩ මිලදී ගෙන ඇති අතර හට් පුටු යනාදිය මෙම භාණ්ඩ ලබා ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස එම ස්වේච්ඡා සංවිධාන නිලධාරීන් වෙත අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම් දී තිබී ඇත.

මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ මිලදී ගෙන ඇති භාණ්ඩ රැසක් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ස්වේච්ඡා සංවිධාන රැසකට බෙදාදීමට කටයුතු යොදා ඇති බවට ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්ට කරන ලද පැමිණිල්ලකට අනුව භාණ්ඩ බෙදාදීම වහාම අත්හිටුවන ලෙස සහකාර මැතිවරණ කොමසාරිස් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දී ඇත.