ආරුගම්බේ සංචාරය කරන්න එපා – බ්‍රිතාන්‍ය සහ රුසියාවත් අනතරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

ආරුගම්බේ සංචාරය කරන්න එපා – බ්‍රිතාන්‍ය සහ රුසියාවත් අනතරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

ආරුගම්බේ ප්‍රදේශය සඳහා අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇඟවීම මත පදනම්ව බ්‍රිතාන්‍ය රජය විසින් ද ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබේ.

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇති බැවින් එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මෙරට රැඳී සිටින අමෙරිකානු ජාතිකයින්ට දැනුම් දීමක් සිදුකර තිබුණි.

මීට පැය කිහිපයකට පෙර අමෙරිකානු තානාපති කාර්‍යාලය ඔවුන්ගේ අමෙරිකානු පුරවැසියන්ට නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ නිවේදනයට සමගාමීවයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලය ද අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයෙන් ද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ; එවන් තොරතුරක් බුද්ධි අංශ වෙතින් ලැබී තිබුණු බවත් ඊට අවශ්‍ය සියලුම ආරක්ෂාවන් ආරුගම්බේ කලාපය තුළ ස්ථාපිත කර අවසන් බවයි.

ඊශ්‍රායල සංචාරකයින් ආරුගම්බේ ප්‍රදේශයට වැඩි වශයෙන් සර්ෆින්ග් ක්‍රීඩාව සඳහා පැමිණෙන බවත්; ඔවුන්ට අයත් ගොඩනැගිල්ල එම ප්‍රදේශයේ ඇති බවත් ඒ සම්බන්ධයෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් වී ඇති බව ද පොලිස් මූලස්ථානය නිවේදනය කළා.

මේ අතර අමෙරිකානු තානාපති කාර්‍යාලය නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයට සමගාමීව මෙරට පිහිටි රුසියානු තානාපති කාර්‍යාලය ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; ආරුගම්බේ නගරයේ දී එල්ල විය හැකි ප්‍රහාරයෙන් ආරක්ෂා වීමට සිය රුසියානු පුරවැසියන්ට එහි සංචාරය කිරීමෙන් වළකින ලෙසටයි.