ශාන්තිකර්ම කරන මුවාවෙන් නිවෙස් වල රන් භාණ්ඩ, මුදල් කොල්ලකෑ කපුවෙක් අත්අඩංගුවට

ශාන්තිකර්ම කරන මුවාවෙන් නිවෙස් වල රන් භාණ්ඩ, මුදල් කොල්ලකෑ කපුවෙක් අත්අඩංගුවට

ශාන්තිකර්මයක් සිදුකරන බව පවසා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ දේවගැතිවරයෙකු බද්දේගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර අපරාධ කොට්ඨාශයකට ලැබුණු පැමිණිල්ලකට අනුවයි විමර්ෂණ ක්‍රියාත්මක කෙරුණේ.

සැකකරු හොරණ හල්තොට ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සිදුකරන බව පවසා මුදල් සහ රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවයි එහිදී අනාවරණය වුණේ.

53 හැවිරිදි වියෙහි පසුවන සැකකාර දේවගැතිවරයා නිවාස වලට පැමිණ එම නිවාසවල භූත දෝෂ සහ වෙනත් දෝෂ පවතින බවට නිවැසියන්ට පවසා වහාම ශාන්ති කර්මයක් සිදුකළ යුතු බවට සඳහන් කරන බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ඔවුන්ට සඳහන් කරන්නේ; මෙම නිවසට මියගිය ඥාතියෙකු අරක් ගෙන සිටින බවත්; නුදුරු දිනකින් නිවසේ ඉඩමෙන් නිධානයක් මතු වන බවත්ය.

එම ශාන්ති කර්මය සඳහා එම පුද්ගලයා අදාළ නිවසේ කාමරයක් තෝරා ගෙන එහි සාදාගත් විශේෂ කුටියක පුද පූජා පවත්වමින් දින දෙක තුනක් එම නිවසේ රැඳී සිටින බවත් වාර්තා වනවා.

ඔහු පිළිබඳ ව විශ්වාසයක් නිවැසියන්ට ඇතිවුණු පසු ඔහු ප්‍රකාශ කර ඇත්තේ; නිවස සතු සියලුම රත්තරන් භාණ්ඩ සහ මුදල් විශේෂ කුටියේ තැන්පත් කරන ලෙසයි.

මුදල් සහ රත්රන් භාණ්ඩ එම කුටියට දැමීමෙන් පසුව ඔහු එම කුටිය පරීක්ෂා නොකරන ලෙසට නිවෙස් හිමියන්ට ප්‍රකාශ කරන බවත් වාර්තා වනවා.

පසුව එම නිවසට වාර කිහිපයක දී පැමිණෙන මෙම පුද්ගලයා එම කුටියට දමන ලද මුදල් සහ රත්තරන් භාණ්ඩ සොරකම් කරගෙන ගොස් ඇති අතර මාස තුනක් ගතවීමට ආසන්න වීමේ දී මෙම කපුවා විසින් එම කුටියට ව්‍යාජ ලෙස සැකසූ නොවටිනා පිත්තල භාණ්ඩ සහ තවත් උපකරණ ඉතා සූක්ෂ්ම ලෙස කුටියට දමා නිවැසියන්ට පවසා ඇත්තේ; මේ නිධානයෙන් ලැබුණු වටිනා උපකරණ බවයි.

හොරණ – හල්තොට ප්‍රදේශයේ පදිංචි එක්තරා පවුලකට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතී තමන්ගේ මුදල් අස්ථානගත වී ඇති බවට අනාවරණය වූ බැවින්, ඔවුන් මේ පිළිබඳ කළුතර අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබෙනවා.

ඉන් පසුවයි අදාළ සැකකරුව ගාල්ල – බද්දේගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු මීට පෙර ද මහරගම සහ ගාල්ල ප්‍රදේශවල දී ද රුපියල් ලක්ෂ 80කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් වංචා කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු ළඟ තිබි ත්‍රීරෝද රථයක් , යතුරු පැදියක් සහ පිත්තල උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.