සරසවි සිසුවියන් නාන දර්ශන වීඩියෝ ගත කල පුද්ගලයෙක් අත්අඩංගුවට

සරසවි සිසුවියන් නාන දර්ශන වීඩියෝ ගත කල පුද්ගලයෙක් අත්අඩංගුවට

විශ්වවිද්‍යාල සිසුවියන් 14 දෙනෙකුගේ නිරුවත් නාන දර්ශන ජංගම දුරකතනයකින් පටිගත කළ මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ ආසන්නයේ නිවසක තාවකාලිකව නවාතැන්ගෙන සිටින සිසුවියන්ගේ වීඩියෝ දර්ශන මෙලෙස ලබාගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

පසුගිය 29 වැනිදා සැකකාර පුද්ගලයා අදාළ නිවසෙහි බලු කූඩුවක් සෑදීම සඳහා පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී නාන කාමරයට පිටතින් සුළං කවුළුව අසල ජංගම දුරකථනයක් ක්‍රියාත්මක වන අයුරු සිසුවියක් දැක එය සෙසු පිරිසට දන්වා ඇති බව සඳහන්.

අනතුරුව ජංගම දුරකථනය සිය භාරයට ගත් ඔවුන් එය පරීක්ෂා කර බැලීමේදී එම සිසුවිය නාන දර්ශනයක් එහි පටිගත වී තිබී ඇතැයි සිසුවියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙසම ජංගම දුරකථනය තවදුරටත් පරීක්ෂා කිරීමේදී අනෙකුත් සිසුවියන් නාන කාමරය තුළ රැඳී සිටින දර්ශනද එම ජංගම දුරකථනයේ පටිගතව තිබෙන අයුරු දැකගැනීමට හැකි වී තිබෙනවා.

අනතුරුව එය සම්පූර්ණයෙන්ම ජංගම දුරකථනයෙන් ඉවත් කිරීමට එම සිසුවියන් විසින් කටයුතු කර සැකකරු ද ඔවුන් භාරයට ගෙන පොලිසියට දැනුම් දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සැකකරු මීට පෙර අවස්ථා පහකදී විවිධ වැඩ කටයුතු සඳහා මෙම නිවස වෙත පැමිණි අයෙක් වනවා.

එලෙස පැමිණි අවස්ථා වලදී නාන කාමරය තුළ කිසිවකු රැඳී සිටින ශබ්දය ඇසීමෙන් අනතුරුව ජංගම දුරකථනය හොර රහසේ සුළං කවුළුව අසල තබා නිරුවත් දර්ශන පටිගත කළ බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියා සිටියා.

පොලිස් භාරයට ගත් දුරකථනය තවදුරටත් පරික්ෂා කිරීමේ දී එහි ප්‍රතිචක්‍රී බඳුනෙහි (recycle bin) නාන කාමරයේ දර්ශන රැසක් අඩංගුව ඇතත් සිසුවියන්ගේ නිරුවත් දර්ශන එහි ගැබ්ව තිබුණේ නැහැ.

ඒ හේතුවෙන් සැකකරු විසින්ම එම දිනවලම ඒවා මකා දමා ඇති බවයි පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්‌තේ.

මේ සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක සහකාර පොලිස් අධිකාරියේ උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 45477 ලලිත් පොලිස් කොස්තාපල්වරුන් වන 103837 සිල්වා 89919 දුෂාන්ත මහත්වරුන් පරීක්ෂණ පවත්වනවා.