හින්දු කෝවිලක නිධානයක් ගොඩගන්න ගිය පිරිසක් අත්අඩංගුවට

හින්දු කෝවිලක නිධානයක් ගොඩගන්න ගිය පිරිසක් අත්අඩංගුවට

ගිනිගත්හේන පොලිස් වසමට අයත් කෙනිල්වර්ත් වතුයායේ පළමු කොටසේ රක්ෂිතයේ පිහිටි කාලි හින්දු කෝවිලක නිධානයක් ගොඩගැනිමට උත්සහ කල අඹුසැමි යුවලක් සහ ඔවුන් සමග පැමිණි ත්‍රිරෝද රථ රියදුරෙක් වතු කම්කරුවන් පිරිසක් විසින් අල්ලා (11) දින රාත්‍රියේ ගිනිගත්හේන පොලිසිය වෙත භාර දි ඇත.

එම වතුයායේ කාලි කොවිලේ තිබෙනවා යැයි පවසන නිධානයක් ගොඩගැනිමට මිට වසර කිහිපයකට ප්‍රථම පිරිසක් උත්සහ කල බවත්, එම උත්සහය ව්‍යාප්ත විමෙන් අනතුරුව (11) දින රාත්‍රියේ සැකකාර අඹුසැමි යුවල මාස හතක් පමණ වයසැති සිගිත්තියක් රැගෙන අධික බැවුමක් සහිත ප්‍රදේශයක පිහිටි එම හින්දු කෝවිල වෙත ගොස් පුජාවක් පැවැත්විමට සුදානම් වෙමින් සිටියදි වතු කම්කරුවන් එම පිරිස දැක වතු අධිකාරිවරයාට දැනුම් දි පුජාවක් පැවැත්විමට සුදානම් වි සිටි පිරිස අල්ලා ගිනිගත්හේන පොලිසිය වෙත භාර දි ඇත.

අංගොඩ සහ මිගොඩ ප්‍රදේශවල පදිංචි අඹුසැමි යුවල අවු 32 සහ 31 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, එම යුවලගේ යැයි පවසන මාස හතක් වයසැති සිගිත්තියක්ද සිටි බවයි ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

සැකකරුවන් සන්තකයේ තිබි ඩෙටනේටර් හතරක්, වෙඩි බෙහෙත් සහ ග්‍රිල් කටුවක් තිබි හමු වු බවත්, අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල පුජාවක් පැවැත්විම සදහා එම හින්දු කොවිලට පැමිණි බව සදහන් කරන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අඹුසැමි යුවල සමග එම වතුයායට ගොස් සිටි ගිනිගත්හේන නගරයේ ත්‍රිරෝද රථ රියදුරෙකුද වතු කම්කරුවන් විසින් අල්ලා පොලිසිය වෙත භාර දුන් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, අඹුසැමි යුවල ළග සිටි සිගිත්තිය දැනට පොලිස් භාරයේ සිටින බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

වතු කම්කරුවන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් වෙත භාරදෙන අවස්තාවේ වතු කම්කරුවන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්ද ඇති විය.