මවගේ පවුම් පහක රන් මාලය සොරකම් කල පුතා අත්අඩංගුවට

මවගේ පවුම් පහක රන් මාලය සොරකම් කල පුතා අත්අඩංගුවට

සිය මවගේ පවුම් පහක බරකින් යුත් රු ලක්ෂ දහයක් පමණ වටිනා රන් මාලය සොරකම් කල පුත්‍රයෙකු ඊයේ (14) දින පස්වරුවේ හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් පොලිස් වසමට අයත් ෂැනන් වතුයායේ පදිංචි කාන්තාවක් හැටන් පොලිසිය වෙත පැමිණ තම නිවසේ අල්මාරියේ තිබු පවුම් පහක බරකින් යුත් රු ලක්ෂ දහයක් පමණ වටිනා රන් මාලයේ සොරාගෙන ඇති බවට කරන ලද පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සිදු කල විමර්ෂණයකදි සොරගන්නා ලද රන් මාලය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මවගේ නිවසට යාබදව සැකකාර පුතා පදිංචිව සිටින බවත්, සැකකරුගේ බිරිද විදේශ රැකියාවක නිරතව සිටින නිසා සැකකරු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වි ඇති අයෙකු බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

සොරාගන්නා ලද රන් මාලය හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක රු ලක්ෂ නවයකට සැකකාර පුතා විසින් උකස් කර ඇති බවට ලද තොරතුරක් මත සැකකාර පුතා අත්අඩංගුවට ගෙන සිදු කල ප්‍රශ්න කිරිමකදි සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි ඇත.

උකස් කර ලබාගත් ලක්ෂ නවයක මුදලින් රු ලක්ෂයක මුදලක් ඔහුගේ මිතුරෙකුට ලබා දි ඇති බවත්, ඉතිරි මුදල් සැකකරු විසින් සම්පුර්ණයෙන්ම වියදම් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු (15) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද හැටන් පොලිසිය පැවසිය.