පෙම්වතිය ඝාතනය කර දිවි නසාගන්න හැදූ පෙම්වතා අත්අඩංගුවට

පෙම්වතිය ඝාතනය කර දිවි නසාගන්න හැදූ පෙම්වතා අත්අඩංගුවට

අනුරාධපුර නව නගරයේ කුම්බිච්චංකුලම වැව අසල පිහිටි ළමා උද්‍යානය ඉදිරිපිටදී අද දහවල් තම පෙම්වතියට තියුණු ආයුධයකින් ඇන බර පතල තුවාල සිදු කළ පුද්ගලයෙකු උල් පිහියක් සහ වස බෝතලයක් සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අනුරාධපුර නගරයේ මූල්‍ය ආයතනයක සේවය කරමින් සිටි, එප්පාවල පහල සියඹලා ගස්වැව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ, එප්පාවල කටියාව ප්‍රදේශය පදිංචිව සිටි 25 හැවිරිදි තරුණියක්.

මෙම සිද්ධිය දුටු පිරිසක් වහා ක්‍රියාත්මක වී පහර දීම සිදු කරමින් සිටි පෙම්වතා බව කියන පුද්ගලයා අල්ලා ගෙන පොලීසියට බාර දී ඇති අතර, පිහි ඇනුමට ලක්ව බරපතල තුවාල ලැබූ කාන්තාව, අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබූ බවයි, පොලිසිය පවසන්නේ.

පිහි ඇනුම සිදුකල පිරිමි පුද්ගලයා සහ තුවාල ලැබූ තරුණිය වසර 9 කට ආසන්න කාලයක්, පෙම්වතුන් ලෙස සිට ඇති අතර දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන්, මෙම පහර දීම සිදු කරන්නට ඇති බවටයි, පොලිසිය සැකපළ කරන්නේ.

එම දෙදෙනා අද (30) දහවල් හෝටලයක් වෙත යාම සඳහා සූදානම් වූ අවස්ථාවේදී පෙම්වතා බව කියන පුද්ගලයාගේ හැසිරීමේ වෙනසක් දුටු පෙම්වතිය, ඔහුගෙන් මිදී දිව ගොස් ඇති අතර, මීටර් පන්සියයක් පමණ දුරක් ඇය පිටුපසින් ලුහුබැඳ පැමිණි සැකකරු ඇයට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කර ඇති බවට වාර්තා වේ.

පහර කෑමට ලක් වූ තරුණියගේ අත් දෙකට, පිට ප්‍රදේශයට, යටිබඩ ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වන වාට්ටුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව, ශල්‍යකර්මයකට භාජනය කළ බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී උල් පිහියක් සහ වස බෝතලයක් සොයාගත් අතර සැකකරු විසින් තම පෙම්වතිය ඝාතනය කර, එම සැකකරුද වස පානය කර සිය දිවි නසා ගන්නට සැලසුම් කර තිබූ බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.