සුගීෂ්වර බණ්ඩාරගෙන් අනුරට අභියෝගයක්

සුගීෂ්වර බණ්ඩාරගෙන් අනුරට අභියෝගයක්

රටේ පාලනය ඉල්ලා පසුගිය 2022 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කළ බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කර ඇති ප්‍රකාශය බොරුවක් බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අවධාරණය කරයි.

ජාතික ජන බලවේගයේ නායකයා පවසන ආකාරයේ ලිපියක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත 2022 වසරේ මැයි මස 12 වැනි දින ලැබී නැති බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලෙස ඒ මහතා පෙන්වා දෙයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම පදනම් විරහිත ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව පවසන සුගීෂ්වර බණ්ඩාර මහතා හැකි නම් එම ලිපිය ඉදිරිපත් කරන ලෙසත් එය භාර දුන්නේ කාහටදැයි පවසන ලෙස අභියෝග කරන බව ද කියා සිටී.

පැවැති අර්බුදය විසඳීම සඳහා ජාතික ජන බලවේගය සූදානම් බවත් ඒ වෙනුවෙන් බලය ලබාදෙන්නැයි ඉල්ලා මැයි මස 12 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කළ නමුත් එවැනි ලිපියක් ලැබුණු බවට හෝ පිළිතුරක් නොලැබුණේ යැයි ද අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.