මෙරට ආර්ථිකය ගොඩගන්න අමෙරිකාවේ සහය

මෙරට ආර්ථිකය ගොඩගන්න අමෙරිකාවේ සහය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවේ පැවසීය.

ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා  අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද ඇමෙරිකා තානාපතිනිය ප්‍රකාශ කළාය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් ( Julie Chung) මහත්මිය අතර  ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්  ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්  මහතාගේ සුබ පැතුම් පණිවිඩය ද ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි චන්ග් මහත්මිය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත මෙහිදී පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAID) මඟින් ලබාදිය හැකි මූල්‍ය  සහයෝග  ලබාදීමට සූදානම් බව ද මෙහිදී ඇමෙරිකා තානාපතිනිය සඳහන් කළාය.

වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙනයන වැඩපිළිවෙලට මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබාදීමටද ඇමරිකානු එක්සත් ජනපදය සහතික විය.

යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ලබා දිය හැකි ඕනෑම සහයෝගයක් ලබාදීමටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමටත් එක්සත් ජනපදය මෙහිදී එකඟාව පළ කර ඇත.