
ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් කළ මගියෙකු අත්අඩංගුවට
සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක සේවය කරමින් සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් කළ බව කියන එම ගුවන් යානයෙහි ගමන් ගත් ගුවන් මගියෙකු අද (16) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය
මොහු කොළඹ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි, එම ප්‍රදේශයේ වැඩ පොළක් පවත්වාගෙන යන්නෙකි.
මොහු ඊයේ (15) රාත්‍රී 10.00 ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එසේ පැමිණෙන අතරවාරයේ, අධික ලෙස බීමත්ව, එම ගුවන් යානයෙහි සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු ලිංගික අඩන්තේට්ටම් වලට ලක් කර තිබේ.
මෙම සිදුවීම පිළිබද වහාම, එම ගුවන් සේවිකාවන් දෙදෙනා, ගුවන් යානයෙහි ගුවන් නියමුවාට වාර්තා කිරීමෙන් අනතුරුව, ඔහු මේ පිළිබද කටුනායක ගුවන් තොටුපොළ පාළක මැදිරි මධ්‍යස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන්, මොහු අත්අඩංගුවට ගෙන කටුනායක පොලීසිය වෙත රැගෙන විත් භාර දී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධව ගුවන් සේවිකාවන් දෙදෙනාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදාළ ගුවන් මගියා මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර අධික ලෙස බීමත්ව සිටින බවටද තහවුරු කරගෙන තිබේ.
මෙම සිදුවීම ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ සිදුවී ඇති බැවින් සැකකරු සම්බන්ධව අද (16) කොළඹ අංක 01 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය.