මීගමුව කලපුවේ දී අතුරුදහන් වූ පියා හා දියණියගේ සිරුරු හමුවෙයි

මීගමුව කලපුවේ දී අතුරුදහන් වූ පියා හා දියණියගේ සිරුරු හමුවෙයි

මීගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමෙන් අතුරුදහන් වූ පියා හා දියණියගේ සිරුරු අද (25) දහවල් මීගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තීරයේ තිබියදී සොයා ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පැවසීය.

මෙලෙස ධීවර යාත්‍රාව පෙරළි මරණයට පත්ව ඇත්තේ, මීගමුව මුන්නක්කරේ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි රනිල් ප්‍රනාන්දු නැමති දෙදරු පියකු හා ඔහුගේ වැඩිමහල් දියණිය වන 18 හැවිරිදි නිලුෂා නෙත්මි ප්‍රනාන්දු බව පොලිසිය කියයි.

විදේශ රටක සිට පැමිණි කතෝලික ඥාති පියතුමකු සමග කලපුවේ ගිලී මරණයට පත්වූ පියා හා දියණිය ඇතුළු පවුලේ හත් දෙනකුගෙන් සමන්විත පිරිසක් ඉස්සන් බෝට්ටුව නමින් ප්‍රසිද්ධ කුඩා ධීවර යාත්‍රාවක නැගි කලපු සංචාරයක නිරතව සිටියදී අවාසනාවන්ත ලෙස යාත්‍රාව පෙරළී යාමෙන් දියේ ගිලී තිබුණි.

කෙසේ වෙතත් යාත්‍රාව පෙරළී යනු දුටු ඒ ආසන්නයේ සිටි පිරිස් විසින් කඩිනමින් මෙම කුඩා යාත්‍රාවේ ගමන් කල කතෝලික පියතුමන් හා තවත් සිව් දෙනෙකු බේරා ගැනිමට සමත් වුවද පියා හා දියණිය සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ කලපුවේ සැඩ පහර වැඩිවීමත් සමග බව කියයි.