මිනුවන්ගොඩ කෝටි 07 කොල්ලයේ සැකකරුවෙක් මාට්ටු – කෝටි 4කුත් සොයාගනී

මිනුවන්ගොඩ කෝටි 07 කොල්ලයේ සැකකරුවෙක් මාට්ටු – කෝටි 4කුත් සොයාගනී

බැංකුවල ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කරන සහ ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදල් රැස් කරන පෞද්ගලික සමාගමක රියැදුරකු පෙරේදා (18) බැංකුවල තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි හතහමාරක මුදලක් සමඟ වෑන් රථය රැගෙන පලා යෑම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ පොලීසිය ඊට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනකුම හඳුනා ගනිමින් රුපියල් කෝටි 04ක පමණ මුදලක් ද සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මුදල් පැහැර ගැනීම සිදුව පැය 24ක් ඇතුළත මෙහි සැලසුම්කරුගේ ප්‍රධාන ගෝලයා පැහැරගත් මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වීම පොලීසිය පැත්තෙන් ජයග්‍රහණයක් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සැකකරු අවුරුදු 35ක් පමණ වයසැති මාකෙවිට පදිංචිකරුවකු බව පොලීසිය සඳහන් කරයි. මෙම මුදල් සඟවා තිබී ඇත්තේ මාකෙවිට පිහිටි සැකකරු පදිංචි නිවසේය.

අදාළ සමාගමේ සීදුවේ පිහිටි ශාඛාවේ සිට බැංකුවල ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කරමින් යමින් සිටියදී ආරක්ෂකයන් මඟහැර මෙම මුදල් තොගය ද රැගෙන රියැදුරා පලා ගොස් ඇත්තේ මිනුවන්ගොඩදී පෙරේදා (18) පෙරවරුවේදීය.

සීදුවේ සිට බැංකු තුනක ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කර එහි මුදල් තැන්පත් කරන යන්ත්‍රවල එක්රැස්ව තිබූ මුදල් ද රැගෙන මිනුවන්ගොඩ පිහිටි බැංකුවක ටෙලර් යන්ත්‍රයකට මුදල් තැන්පත් කිරීමට ගිය අවස්ථාවේදී මෙම පැහැර ගැනීම සිදුව ඇත.

මිනුවන්ගොඩදී බැංකුවක ටෙලර් යන්ත්‍රයකට මුදල් තැන්පත් කිරීම සඳහා ආරක්ෂකයන් ටෙලර් යන්ත්‍රයේ තැන්පත් කරන මුදල් බහා තිබූ තැටිය රැගෙන කුඩා වෑන් රථයෙන් බැස බැංකුවේ ටෙලර් යන්ත්‍රය වෙත ගමන් කරන අවස්ථාවේදී මෙම සොරකම සිදුව ඇති බව ගම්පහ කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා සඳහන් කළේය.

ආරක්ෂකයන් ඇතුළු තිදෙනකු රියැදුරුට අමතරව මුදල් තැන්පත් කිරීමේ කටයුතු සඳහා යොදවා තිබී ඇත.

මුදල් තැන්පත් කිරීමේ කටයුතු සඳහා ඔවුන් තිදෙනාම මුදල් ද සමඟ වෑන් රථය රියැදුරු සමඟ තනිකර ගොස් ඇති බවත් දිගින් දිගටම සිදුවන එම දේ මුල්කරගෙන මුදල් පැහැර ගැනීමේ සැලසුම සකස් වී ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත.

පොලීසිය මඟින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුදල් රැගෙන රියැදුරු පලා ගිය වාහනය ගම්පහ ගල්බොඩ ප්‍රදේශයේ අතහැර ගොස් තිබියදී හමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙම සොරකම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් සැකකාර රියැදුරගේ ඡායාරූපයක් ද පෙරේදා රාත්‍රී කාලයේ මාධ්‍යයට නිකුත් කරනු ලැබීය.

37 හැවිරිදි වියේ පසුවන ඉදිමුණි තුෂාර ඉන්දික සොයිසා නමැති කටාන කිඹුලාපිටියේ පදිංචිකරුවකු වූ ඔහු අදාළ මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයේ රියැදුරුය.

වසර දෙකක පමණ කාලයක් අදාළ සමාගමේ සේවයේ නිරතව සිට විශ්වාසය දිනාගෙන සිටියකු බව ද සඳහන්ය.

වෑන් රථය අතහැර දැමීමෙන් පසු මුදල් ද සමඟ රියැදුරුව යතුරුපැදියකින් පුද්ගලයකු විසින් රැගෙන ගොස් ඇති බවට තොරතුරු ද විමර්ශනයේදී හෙළිවී තිබේ.

එම පුද්ගලයා උඩුගම්පොල අස්ගිරි වල්පොල පදිංචි වයස අවුරුදු 40ක් වන ඩබ්ලිව්.ඒ.ඩී.එස්. රණසිංහ නමැති අයෙකි.

සැකකාර රියැදුරු තුෂාර ඉන්දිකට අමතරව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ ඉන්දිකව මුදල් ද සමඟ යතුරුපැදියෙන් රැගෙන ගිය සැකකරු වන රණසිංහ නමැති අයගේ ඡායාරූපය ද මාධ්‍යයට නිකුත් කළේය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගම්පහ I නාලක සේනානායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන වික්‍රමසිංහ, මධුරංග, උදයශාන්ත, පොලිස් සැරයන්වරුන් වන පුෂ්පානන්ද (2926), ධනපාල (55460), සෙනෙවිරත්න (55466), වීරසූරිය (61971), පොලිස් කොස්තාපල්වරුන් වන ලක්ෂාන් (25075), දිල්ෂාන් (24328), ප්‍රදීප් (30190), ලක්මාල් (37801),පොලිස් සැරයන් රියැදුරු හෙට්ටිගේ (1867) යන නිලධාරීහු විමර්ශනවලට සම්බන්ධව සිටිති.

ගයාන් කුමාර වීරසිංහ, ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක