මහ ඡන්දෙන් එන අලුත් මන්ත්‍රීන්ට මැතිසබයෙන් පාඩමක්
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරම්භයත් සමග සලකා බලන විට එළඹෙන නොවැම්බර් 14 වැනි දින මහ මැතිවරණයෙන් තේරී පත්වන්නේ ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුවයි.
1978 සිට මේ දක්වා පාර්ලිමේන්තු නවයන් පැවති අතර, ඒ අතුරින් 2000 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ සිව්වැනි පාර්ලිමේන්තුවේ ආයු කාලය වසරකටත්, 2001 වර්ෂයේ මැතිවරණයෙන් තේරී පත් වූ පස් වැනි පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර තුනකට ද, 2020 වර්ෂයේ පැවති මැතිවරණයෙන් තේරී පත්වූ නවවැනි පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර හතරකට සීමා වූ අතර, ඒ හැරුණු කොට 1978 සිට මේ දක්වා පැවති අනෙකුත් සියලු පාර්ලිමේන්තු වල ආයුකාලය වසර පහකට වඩා වැඩියෙන් පැවතිණි.
2020 අගෝස්තු මස තේරී පත්වූ නවවැනි පාර්ලිමේන්තුවේ වසර පහක ධුර කාලය සම්පූර්ණ වීමට 2025 අගෝස්තු මස අවසානය දක්වා කාලය තිබුණ ද, විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි කාලය පාර්ලිමේන්තුව පළමුවර රැස්වු දින සිට අවුරුදු දෙකකුත් මාස 6 දක්වා අඩු කළ හෙයින් නව වැනි පාර්ලිමේන්තුව, නව වැනි විධායක ජනාධිපති අනුර දිසානායක මහතා විසින් 2024.09.24 දින මධ්‍යම රාතියේ සිට විසුරුවා හරින ලදී
2020 අගෝස්තු මස පැවති මහ මැතිවරණයෙන් නව වැනි පාර්ලිමේන්තුවට පිළිගත් දේශපාලන පක්ෂ 15ක් නියෝජනය කරමින් මන්ත්‍රීවරයන් තේරී පත් වුවද, එම පාර්ලිමේන්තුවේ අවසන් කාලය වන විට විවිධ දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් වශයෙන් පුද්ගල කණ්ඩායම් අභ්‍යන්තරිකව කණ්ඩායම් රාශියකට වෙන් වෙන්ව බෙදී ගොස් තිබුණි.
එය ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය තුළද පැහැදිලිවම දක්නට ලැබුණු තත්වයකි.
පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදනය, පාර්ලිමේන්තුවක ප්‍රධාන කාර්යභාරය වන අතර එය සිදුකරනු ලබනුයේ ව්‍යවස්ථාදායකයට තේරීපත් වන මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු සභාව තුළදී ය.
එහෙත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ සභාවෙන් පිටතදී ද ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට දායක වන කුඩා සභා රාශියක් තිබේ. ඒවා කාරක සභා ලෙස හැඳින්වේ.
ඉහතින් සාකච්ඡා කරන ලද සියලුම නීති සම්පාදන ක්‍රමවේද හා කාරක සහ ක්‍රමවේද වලට වඩා වර්තමානයේ විශාල සමාජ කතිකාවතක් ඇති වී තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද සම්බන්ධයෙනි.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මන්ත්‍රීවරුන්ට බලතල හා වරප්‍රසාද ලබාදී ඇත්තේ ඔවුන් සාමාන්‍ය මහජනතාවගෙන් වෙනස් කොට වෙනත් තලයක තබා කටයුතු කිරීමට නොවේ.
මහජනතාවගේ නියෝජිතයන්ට සමාන්‍ය ජනතාවට නොමැති කිසියම් බලතල හා වරප්‍රසාද ලබාදී ඇත්තේ කිසිදු බාධාවකින් තොරව මහජනතාවට සේවය කිරීම සඳහා පහසුවක් හා ඉඩ ප්‍රස්ථාවක් සලසාදීම සඳහාය.
මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 1953 අංක 21 දරන බලතල හා වරප්‍රසාද පනත මඟින් සලස්වා ඇති අතර එය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67වැනි ව්‍යවස්ථාව මඟින් තවදුරටත් බලගන්වා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බලතල, වරප්‍රසාද සහ ආචාර ධර්ම ආරක්ෂා කිරීම සඳහාද, ඉහතින් කී කාරක සභා අතර ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව නමින් කාරක සභාවක් ද ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බලතල හා වරප්‍රසාද ආරක්ෂා කිරීම මෙන්ම, මන්ත්‍රීවරුන් නිසි ආචාරධර්ම අනුව කටයුතු කරන්නේ ද යන්න විභාග කර වරප්‍රසාද කඩවී ඇති විට ව්‍යවස්ථානුකුලව දඬුවම් නියම කිරීම ද මෙකී කාරක සභාවට පැවරී ඇති කාර්යභාරයකි.
බොහෝ දෙනෙකු නොදන්නා නමුත් මන්ත්‍රී බලතල හා වරප්‍රසාද මෙන්ම, 2018 වර්ෂයේ මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහයක් ද ඇත.
පසුගිය නව වැනි පාර්ලිමේන්තු කාලසීමාව තුළදී ඩයනා ගමගේ මහත්මියගේ සිද්ධිය ඇතුළු සිද්ධි කිහිපයකදීම පාර්ලිමේන්තුවේ විනය පිරිහීම හා ආචාර ධර්ම කඩකිරීම සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කතාබහක් ඇතිවිය.
දසවැනි පාර්ලිමේන්තුව තුළ එවැනි තත්වයක් ඇති නොවීමට වගබලා ගැනීමද අලුතින් පත්වන මන්ත්‍රීවරුන් සතු අභියෝගයක් මෙන්ම වගකීමකි.