දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 2025 පෙබරවාරි 24 සහ 25 යන දිනවල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියම කළේය.
මේ අතර, මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකොට ඇති මෝසම සහ ඊට එරෙහිව පෙත්සම්කාර පාර්ශවයකින් ගොනුකොට මෝසම්ද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ මේ සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.
කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව 08ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම් අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.