රුසියාවේ සිට සංචාරකයන් රැගත් අසූර් ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට
ලොව පුරා එළඹී තිබෙන ශීත ඍතුව වෙනුවෙන් රුසියාවේ සිට අසූර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය (Inogaral Flight ) එරට සංචාරකයන් පිරිසක් රැගෙන අද (06) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා .
මෙම ගුවන් යානය පිළිගැනීම සඳහා ජල ආචාර පැවැත්වීමටයි කටුනායක ගුවන් බලධාරීන් පියවර ගෙන තිබුණේ.
මෙම පළමු මංගල ගුවන් ගමන සඳහා අසූර් එයාර් ගුවන් සේවය විසින් බෝයිං – 767 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එහි ගුවන් මගීන් 332 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 10 දෙනෙකු ද පැමිණ සිට තිබෙනවා .
එමෙන්ම මෙම අසූර් එයාර් ගුවන් යානා වලට රුසියාවේ එම ගමනාන්ත වෙත ළගා වීමට පැය 09.00 ක කාළයක් ගත වන අතර මෙම ගුවන් යානා එළඹෙන 2025 වසරේ අප්‍රේල් මස 30 දින තෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි .
මෙසේ පැමිණි රුසියානු සංචාරකයන් පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්යක්ෂ සෂිකා ඉමාලි , කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ගුවන් තොටුපොළ කළමනාකරු වාසනා කුමාරි , අසූර් එයාර් ගුවන් සේවයේ ශ්‍රී ලංකා කළමනාකරු මොරිස් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුනා.