මැගසින් බන්ධනාගාරයට හානි කළ රැඳවියන්ට ලක්ෂ 55ක් වන්දි ගෙවන්නැයි නියෝග
නීතී විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් මීට වසර 12කට පෙර බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළදී කැරලි ගසා බන්ධනාගාර දේපළ වලට රුපියල් ලක්ෂ 52කට අධික අලාභ හානි කිරීම සහ පුද්ගලයින්ට පහරදී බරපතළ තුවාල කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් බන්ධනාගාර රැඳවියන් 39 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා රුපියල් ලක්ෂ 55 1/2ක වන්දි ගෙවීමට අද (04) නියම කළේය.
සිද්ධියේදී තුවාල ලැබු නිහාල් ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක්ද බන්ධනාගාරයට ලක්ෂ 52 1/2ක වන්දියක්ද චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවන්ට ගෙවීමට නියම කළ විනිසුරුවරයා අධිකරණය මඟහැර සිටින හා වරද පිළිනොගත් විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව විභාග කිරීමටද නියම කළේය.
2012 ජනවාරී මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ල මැගසින් බන්ධනාගාරයේදී කැරලි ගසා බන්ධනාගාර දේපළ වලට රුපියල් ලක්ෂ 52කට අධික අලාභ හානි කිරීම සහ පුද්ගලයින්ට පහරදී බරපතළ තුවාල කිරීම ඇතුළු චෝදනා යටතේ ඒ අවස්ථාවේදී බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 47 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.
නඩුව කැඳවු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් 45 දෙනාගෙන් විත්තිකරුවන් 43 දෙනෙකු අදාළ චෝදනාවන්ට සිය නීතීඥවරු මාර්ගයෙන් වරද පිළිගත් අතර චෝදනා ලැබ සිටින විත්තිකරුවන් දෙදෙනෙකු අධිකරණය මඟහැර ගොස් සිටිති.
වරද පිළිගත් විත්තිකරුවන්ට බන්ධනාගාරයට වු හානි වෙනුවෙන් රුපියල් 52,48,800/-ක මුදලක්ද බරපතළ තුවාල ලැබූ නිහාල් ගුණවර්ධන නමැත්තාට රුපියල් ලකෂ තුනක මුදලක්ද වන්දි වශයෙන් ගෙවීමට විත්තිකරුවන්ට නියම කළ විනිසුරුවරයා එක් එක් විත්තිකරු රුපියල් 1,27,000/- බැගින් වන්දි ගෙවීමට නියම කළේය.
අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් 43 දෙනා අතුරින් මෙම නඩුව සම්බන්ධයෙන් පමණක් රිමාන්ඩ බාරයේ රඳවා සිටි විත්තිකරුවන් 24 දෙනෙකු ඇපමත මුදා හැරීමට නියම කළ අතර වෙනත් නඩු ස`ඳහා සිරදඬුවම් නියමව සිටින විත්තිකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමටද නියම කළේය.
නඩුව ලබන දෙසැම්බර් 14 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදිනන අධිකරණයේ පෙනී සිටින ලෙස සියලුම විත්තිකරුවන්ට නියම කළ අතර වරද පිළිනොගත් විත්තිකරුවන් දෙදෙනාට සහ අධිකරණය මඟහැර සිටින විත්තිකරුවන් දෙදෙනාට එරෙහි එරෙහිව නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ රවිඳු ජයකොඩි මහතා පෙනී සිටියේය.