විදුලි ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නෑ – මහජන උපයෝගිතා කොමිසම
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, ගාස්තු සංශෝධනයට අදාළව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස කොමිසම විසින් ලංකා විදුලි බලමණ්ඩලයට දැනුම් දුන් බවයි, එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ.
එම යෝජනාවලිය ලබන 8 වන දිනට පෙර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී තිබේ.
පසුගිය ඔක්තෝබර් මස 24 වෙනිදා ලංකා විදුලි බලමණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලියක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණි.
එමඟින් විදුලි ගාස්තු සියයට 4ත් 11ත් අතර ප්‍රතිශතයකින් පහළ දැමීමට ලංකා විදුලි මණ්ඩලය විසින් යෝජනා කර තිබුණි.
එහෙත් ලංකා විදුලි මණ්ඩලය විසින් මේ වසරේ ගතවු මාස කිහිපය තුළ ලබා ඇති ලාභයට සාපේක්ෂව අඩු කිරීමට යෝජනා කර ඇති ගාස්තු ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බවට ඇතැම් පාර්ශව විසින් අදහස් පළකර තිබුණි.
කෙසේවෙතත් නව යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට ප්‍රතියෝජනාවක් සකස් කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිශන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේය.