මහ මැතිවරණයේ දිනයට එරෙහි පෙත්සම සලකා බැලීම අද
පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා පසුගිය 21 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (04) සලකා බැලීමට නියමිතයි.
ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීය.
අදාළ පෙත්සම ගොනු කර ඇත්තේ, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් මහතා විසින්ය.
මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම, මැතිවරණ පනතේ විධි විධානවලට පටහැනි බවටයි’ එම පෙත්සමේ සදහන් කර ඇත්තේ.
ඉන් පෙන්වා දී තිබුණේ, පාර්ලිමේන්තු ඡන්ද විමසීම් පනතේ 10 වැනි වගන්තිය අනුව නාමයෝජනා කැඳවීමට ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් 11 වැනිදා දක්වා දින නියම වූ බවයි.
මැතිවරණ පනත ප්‍රකාරව නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බව ද එහි දැක්වෙයි.
ඒ අනුව, නාම යෝජනා භාරගැනීම අවසන් වූ ඔක්තෝබර් 11 වැනිදා සිට සති 5ක කාලය, නොවැම්බර් මස 15 වැනිදා අවසන් වන අතර, සති 07 කාලය නොවැම්බර් මස 29 වැනිදා සම්පූර්ණ වන බව පෙත්සමේ සඳහන් ය.
මැතිවරණ සංශෝධන පනතට අනූව මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට සහ මැතිවරණය පැවැත්වීමට නිවැරදි කාලය වන්නේ, නොවැම්බර් 15 වැනිදා සිට නොවැම්බර් 29 වැනි දක්වා බව පෙන්වා දෙන පෙත්සම්කරු, ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් එය නීතියේ ආධිපත්‍යය කඩ කිරීමක් බවත් පෙන්වා දී තිබුණි.