STF ලොක්කාගේ ගිනි අවිය වසන්ත ඝාතනයටත් යොදාගෙන?

STF ලොක්කාගේ ගිනි අවිය වසන්ත ඝාතනයටත් යොදාගෙන?

පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු සිය මෝටර් රථයේ පිටුපස අසුනේ සූක්ෂම ලෙස සඟවා තිබියදී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය අතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය සඳහා යොදාගත් අනෙක් ගිනි අවිය බවට සැක කරන බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් සැක හැර දැනගැනීම සඳහා ගිනි අවිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ටැටූ කලාගාරය තුළ අපරාධයත් සමග විසිරී තිබූ හිස් පතුරම් කොපු මෙම ගිනි අවියෙන් නිකුත් වූ ඒවා දැයි වැඩිදුරටත් සොයා බැලීමට නියමිතය.

මෙම ගිනි අවිය යොදාගෙන ගම්පහ ඔස්මන්ඩ් නැමැත්තාද ඝාතනය කිරීමේ සූදානමක් අනාවරණය වී යැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු වන ගනේමුල්ල සංජීව යන අයගේ ගෝලයකු වන ගම්පහ පැටී මංජුගේ සහෝදරයකු වන දැනට විදේශගතව සිටින කදමුල්ල ආරච්චිගේ දිනේෂ් වසන්ත යන අයගේ සමීපතමයකු බව පොලිසිය පවසයි.

ඉකුත් ජුලි මස 8 වෙනි දින සිදු කළ එම වෙඩි තැබීමෙන් වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු, එම ස්ථානයේදීම මියගිය අතර ජනප්‍රිය ගායිකා කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ ඇතුළු සිව් දෙනකු බරපතල තුවාල ලැබීය.

 

COMMENTS